Saturday, February 25, 2012

ජොබේ පලමු පඩිය....

             ඔන්න ඔය විදියට රෑ එලි වෙනකම් පිස්සු නටන අපි උදේට කිසිදෙයක් දන්නෙ නැති බබාල වගේ ඉන්නව. වෙන අහවල් මගුලකටවත් නෙමෙයි, උදේට එන ගෑණු පරාණ වලට චාටර් වෙන්න බැරි නිසා.. සමහර අයනම් කියනව මම හරී ශෝ..ක් කියල..හික්ස්.. අපේ සමහර රෑට වැඩකරන අය ගෙදර යන්නෙත් නැතුව ඉන්නව සමහර වෙලාවට උදේට එන අය බලලා යන්න.. ඔන්න මේ මම නම් නෙමෙයි හොදේ...
            උදේ 8.30 වෙනකොට දවල්ට වැඩකරන ගෑණු පරාණ ඔක්කොම වගේ එනව. මුන් ආපු ගමන් කරන්නෙ මේස ඩෙටෝල් දාල පිහදාන එක.. ලොල්.. උන් දන්නව අපි රෑට මේස උඩ නිදාගන්න විදිය.. හික්ස්... සමහර එවුන් නිදා ගන්නෙ යට කලිසම පිටින් විතරයිනෙ...
           දින සති ගෙවිල ගියා.. වෙන අය දවසකට රෙකෝඩ් හාරදාහක්, පන්දාහක් දානකොට මම බොහොම අමාරුවෙන් දවසකට රෙකෝඩ් පන්සීයක්, හයසීයක් විතර දාගත්තා.. දවල්ට වැඩකරන අය කරන්නෙ රෑ එන්ටර් කරපුව වෙරිෆයි කරන එක. ඒ කියන්නෙ හරි වැරදි හදන එක. දවල් වැඩ කරන අය මට කියනව ඔයා හොදට එන්ටර් කරල තියෙනවා කියල.. ඉතින් එහෙම වෙන්න එපැයි, ඉලක්කන් එකෙන් එක බලලනෙ ගහන්නෙ...
         ටික දවසක් යනකොට දවල් වැඩ කරන අයත් මගෙ හොද යාලුවො උනා.. කොහේ ගියත් මට කට්ටිය නිකම්ම සෙට් වෙන පුරුවෙ කරපු අකුසල කර්මෙ ඒ දවස් වලත් හොදට පල දුන්නා... හික්ස්.. නිදිමත තිබුනත් උදේ එන අය එක්ක ටිකක් කථා කරල විහිලුවක් කරල ගෙදර යන එක පුරුද්දක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ..
        වැඩ ඇරිල ගෙදර ආව කියල අමුතුවෙන් කරන්න දෙයක් තිබුනෙ නෑ නිදා ගන්නව ඇරෙන්න.. ඒක නිසා මම ටිකක් දවල් වෙනකම් ඔෆිස් එකේ හිටිය ඒ ගොල්ලො කරන දේවල් බලාගෙන. ඇත්තම කියනවනම් දවල්ට කරන වැඩ දැක්කාම ඇඩෙනව අපි මොනවද රෑට කරන්නෙ කියල. මුන් ඔක්කොම කඩියො වගේ වැඩ.. කථා කරන්නවත් වෙලාවක් නෑ..
         කොහොමින් කොහොම හරි වැඩට ගිහින් මාසයක් වෙන්නත් ආව.. හැමෝම වගේ මාත් කට ඇරගෙන බලන් හිටිය මාසෙ පඩිය ගන්න.. පඩි ගෙවන්නෙ මාසෙ අන්තිම දවසට.. කට්ටිය මාසෙ අන්තිම දවස වෙනකම් ඉන්නෙ බොහොම අමාරුවෙන්. මාසයක් නිදි මරාගෙන එන්ටර් කරපුවගෙ රිසල්ට් එක තමයි ඔය මාසෙ අන්තිමට ලැබෙන්නෙ.. වෙන ජොබ් එකකනම් දන්නව අනිවාරයෙන් මාසෙට පඩිය කීයක් හම්බවෙනවද කියල, මේකෙ ඉතින් තමන් මාසෙ කොටපු තරම තමයි හම්බ වෙන්නෙ..
        මගේ පළවෙනි පඩි දවස අපි වැඩකරන දවසකටම සෙට් වෙලා තිබුන. ඒක නිසා එදා ටිකක් වේලාසනම ඔෆිස් එකට ගියා.. එහෙම එන්න කියල මට කිව්වෙ රෑ වැඩ කරන අනිත් අය.
       අපේ කොම්පැනියෙ එක එක නම් වලින් ඔෆිස් ගොඩක් තිබුන ඒ කාලෙ. ඔය හැම එකකටම පඩි ගෙව්වෙ එක්කෙනෙක් ඒ ඒ ඔෆිස් එකට ඇවිත්. එයා දැන්නම් ජීවතුන් අතර නෑ.. එයා ඇවිත් වෙනම කාමරයකට වෙලා ඉන්නව, වැඩ කරන අය පෝලිමට යනව එයා ලගට පඩිය ගන්න.. මූන බලල තමයි පඩිය දෙන්නෙ.. ආදරේට නෙමෙයි.. මූන දැක්කහම මිනිහට නම මතකයි.. ඕනම කෙනෙකුගෙන් එක සැරයයි නම අහන්නෙ. ඊලග මාසෙ එයාගෙන් ආයිත් නම අහන්නෙ නැතුවම පඩිය දෙන්න තරම් එයාට නම් මතකයි..
        ඔන්න ඉතින් අපිත් සෙට් උනා පඩි ගන්න.. දවල් වැඩකරන අය ඉස්සෙල්ලාම ගියා පෝලිමෙ.. හිකි හිකි ගගා හිනා වෙවී පෝලිමේ හිටපු ගැටිස්සියො, අර කියපු කාමරේට ගිහින් පඩිය අරන් එලියට එන්නෙ හරියට අර පඩි දෙන අන්කල් මුන්ට අතවරයක් කොරල වගෙ.. මූන රතුවෙල කන් කඩන් වැටිල ඇස් රතු වෙල... බලන්නත් දුකයි.. කිසිම හිනාවක් නෑ. මොනව කරන්නද.. "මාසෙ කොටපු තරමට තමයිනෙ බබා වැනෙන්නෙ" හික්ස්..  ඔය කථාව රෑ වැඩ කරන අයගෙ නිතරම කටේ තියන දෙයක්... ඒකෙ ඇත්ත හරියටම තේරෙන්නෙ මේ මූනවල් දැක්කහම තමයි.
       අපිත් ඉතින් අන්තිමට පෝලිමට සෙට් වෙලා ගියා මාසෙ රිසල්ට් එක ගන්න.. අපේ අයත් දවල් අයට දෙවෙනි නෑ. පඩිය අරන් එලියට එන්නෙ රටේම තියෙන කුණු හරප කියාගෙන...
අනේ ඉතින් මේ අහින්සකයත් ගිහින් වාඩි උනා අර අන්කල් ලග. මූන බලලා ඇහැව්ව අලුතෙන් නේද නම මොකක්ද කියල. මම නම කිව්ව විතරයි කොල මිටියක් අරන් පෙරලල දුන්න එක කොලයක් අත්සන් කරන්න කියල. මමත් ලොකු මිනිහ වගෙ අත්සන් කරා එකෙ තියෙන මොන අටමගලයක්වත් බලන්නෙ නැතුවම.. තව කොලයක් අතට දුන්න. මෙන්න බොලේ මිනිහ ගනිනව සීයෙ කොල පනහෙ කොල දහයෙ කොල එකසිය ගානට... කෙල ගගා ගනිනව.. හප්පා බලන් ඉන්නත් දුකයි අර අහින්සක කොල වලට කරන දේ දැක්කහම... තුන් පාරක් විතර ගැනල දුන්න මට සල්ලි මිටියක්. මමත් බලන්නෙ නතුවම දාගත්ත සාක්කුවෙ. මම මොනව බලන්නද, අරය ඇති වෙන්න බලලානෙ දුන්නෙ...
        එදා දවසත් පුරුදු විදියටම ගෙවිල ගියා.. හැබැයි වෙනදට වඩා ටිකක් අදෝනාවනම් තිබුන.. ඒ පඩි දවස නිසා..
        පහුවෙනිද ගෙදර ගිහින් අම්මට කිව්ව මහ ලොකුවට මට පඩි හම්බ උනා කියල.. අම්ම මගෙ මූන බලල අහපු කියපු දේවල් මට අද වගේ මතකයි.. හිනා වෙලා මට කිව්වෙ එකම එක දෙයයි.. "ඔය පඩිය බැංකුවක දාගන්න, වියදමට සල්ලි ගෙදරින් ගෙනියන්න" කිව්ව.. මගෙන් එක පාරක් වත් ඇහැව්වෙ නෑ කීයක් හම්බ උනාද කියල. අම්ම දන්නව හම්බවෙන්නෙ එන්ටර් කරපු ගානට කියල...
මම අම්මට කිව්ව හම්බ උනෙ රුපියල් 625/= යි ඒක බැංකුවෙ දාන්න ගිහින් වැඩක් නෑ කියල.....
        මට දැන් වගෙ මතකයි එහෙම කිව්වාම අම්මගෙ මූනට ආව හිනාව.. ඒ මූනෙ ගොඩාක් දේවල් ඒ හිනාවත් එක්ක තිබුන. මම දන්නව අම්ම හිනා උනේ මම ගත්ත පඩියට නෙමෙයි කියල.. එදා අම්මට හිතෙන්න ඇති මට මේ කොම්පැනියෙ ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි කියල.. ඔව් අම්මෙ, අම්ම අද ජීවතු අතර නැති උනත් අම්ම හිතපු ඒ ගමනෙ අන්තිම පුටුවෙ වාඩි වෙලා තමයි මම මේ කොම්පැනියෙන් එලියට යන්නෙ..ඒ ගමනෙ අන්තිම පුටුවට යන්න තව වැඩි කාලයක් නෑ, එතෙන්ට ගියදාට අම්ම කොහේ හරි ඉදල මගේ දිහා බලලා සතුටුවෙයි......





Wednesday, January 25, 2012

ටී ටයිම් එකෙන් පස්සෙ මොකෝ වෙන්නෙ....

             මේ වෙනකොට මම වැඩට ගිහින් ටික කාලයක් වෙනව.. අපි හිතමුකො සති දෙක තුනක් කියල.. මොකෝ අතින් පයින් යන එකක්යැ...
හැමදාම රෑ12.00 තමයි පලවෙනි තේ වඩිය සෙට් වෙන්නෙ.. ඉස්සෙල්ල මම කිව්ව වගේ තේ හදන්නෙ ඉන්න සෙට් එකම තමයි, හැබැයි මාරුවෙන් මාරුවට...එක්කෙනෙක් එක දවසක් හදනව, වෙන කෙනෙක් අනිත් දවසෙ හදනවා.. සමහර වෙලාවට හෙල්ප් එකට කවුරු හරි සෙට් වෙන වෙලාවලුත් තියෙනවා...අපරාදෙ කියන්න බෑ සිකරට් එකක් දෙනව කිව්වොත් තේ ටිකත් හදලම දෙයි.... හික්ස්..
         අපරාදෙ කියන්න බෑ මටත් තේ හැදිල්ල සෙට් උනානෙ. උනා කිව්වොත් ඒක වැරදියි.. සෙට් කරා.. මේකා ඇවිත් දැන් ටික දවසක් වෙනව, මූට හැමදාම අපි තේ හදල දෙනව ඒකනිසා හදපිය තෝ අද තේ කියල බොහොම ගරු බුහුමන් ඇතුව මට තේ හදන්න කිව්වා... මොනව කරන්නද, මොකෝ බෑ කියන්නයැ.. රෑ12.00 කඩයක්වත් ඇරල තිබුනනම් මේ හැතිකරේට කඩෙන් හරි ගෙනත් දෙන්න තිබුන....
         මුන් දන්නෙනෑනෙ මමත් හොද ටී මේකර් කෙනෙක් කියල...  මොකෝ මම මෙතෙන්ට එන්න ඉස්සෙල්ල කොම්පැනියක මැනේජර් කමක්යැ කොරේ.. අපේ හෝටලේ තේ හදපු එක තමයි ලොකුවටම කරපු රස්සාව.... මට තේ හදන්න පුලුවන් කියල පෙන්නුවොත් ඒක අනාගතයට නරකට හිටින්න පුලුවන් කියල මට නිකමටවත් හිතුනෙ නෑනෙ ඒ කාලෙ... ශික්....
         ඔන්න කොහොම හරි තේ හැදිල්ල පටන් ගත්ත කියමුකො... එදා මට මතකෙ හැටියට 13ක් විතර හිටිය වැඩ කරන්න... වතුල රත් කරන්න තියෙන්නෙ 150කට විතර තේ හදන්න පුලුවන් තඩි සයිස් එකේ බොයිලේරුවක්...මමත් ඉතින් කරොත් කරන්නෙ මොලේ ඇති වැඩක්මනෙ .. ඒක නිසා අරකෙන් බාගයක් විතර වතුර පුරෝලා ගැහැව්ව ප්ලග් එක...


සාමාන්‍යයෙන් පැය බාගයක් විතර යනකොට තේ හදල ඉවරවෙනව අනිත් කට්ටිය... හමෝම දන්නව වෙලාව. හරියට වෙලාවට කට්ටිය ලන්ච් රූම් එකට සෙට් වෙනව තේ බොන්න.. එදා මම හදපු දවසෙ කට්ටිය එනකොට තාම වතුර රත්වෙලාවත් නෑ... මොන රත්විල්ලක් ද... දෙන්නෙකුට නාන්න පුලුවන් එකෙ තිබුන වතුරෙන්....හික්ස්...
අපරාදෙ කියන්න බෑ ඔන්න එදා තමයි ඉස්සෙල්ලාම අපේ ගෙදර දෙමව්පියන්ව බොහොම වැදගත් විදියට මතක් කරේ වැඩ කරන මගේ යාළුවො ටික... 
සුපවයිසර් අයිය.. ඒ කියන්නෙ අර මන් මුලින් කිව්ව  හාදය, මොනව උනත් ඌ හොද එකා.. ඒක කිව්ව මේකට බනින්න එපා මේ හදන මුල්ම දවසනෙ කියල... හැබැයි අරුන් ටික බනින්නෙ තරහකට නෙමෙයි.. ජොලියට... 
කොහොම හරි එදා සුපවයිවර් අයිය මට තේ හදන්න උදව් කරා.. යාන්තන් මුන්ගෙන් බේරිලා තේ ටික බොන්න සෙට් කරා....
දැන් තමයි නියම හරිය....
          ඔන්න තේ බොන ගමන් කට්ටිය පටන් ගන්නව එක එකාගෙ රෙදි ගලවන්න.. ඒ කියන්නෙ බයිට් කරන්න... මොනව හරි එකක් අල්ලගෙන අනේ ඔක්කොම එකතුවෙලා අරකව මරන් කනව.. ඒ අතරෙ තව එකෙක් මොකක් හරි කිව්වොත් සෙට් එකම ඒකව බයිට් කරනව... තේ බීල ඉවරවෙනකන් කණක් ඇහිල ඉන්න නෑ...
තේ බීලා දුමක් එහෙම දාල ඉවරවෙලා කට්ටිය සින්දු කියන්න පටන් ගන්නවා... මහ රෑ මරලතෝනි දෙන්න එපා කියල සුපවයිසර් ගොයිය ඊට වඩා හයියෙන් කෑගහනව... මරු සීන් එක...
        පැයක් විතර සින්දු කියල සමහර අය ආයිත් වැඩ පටන් ගන්නව... ඉතුරු අය ලන්ච් රූම් එකේ තැන් තැන් වලම නිදාගන්නව... සමහර අය මේස උඩ, සමහර අය බිම පත්තර පිටු දෙක තුනක් දාගෙන පෙරලෙනව... කිසිම ගානක් නෑ..
        සමහර අය වෙන රූම් වලට ගිහින් කොම්පියුටර් තියෙන මේසවල එව්ව එහෙට මෙහෙට කරල පෙරලෙනව... විනඩි දහයක් යන්න කලින් මුලු සේරම ගොරවනව... අපරාදෙ කියන්නබෑ ගෙදර ඇදේ නිදා ගන්නවට වඩා හොදට මුන් මෙහෙ බිම නිදාගන්නවා....

        නිදාගත්ත සෙට් එක ආයිත් නැගිටින්නෙ ඊලග ටී ටයිම් එකට.. ඒ කියන්නෙ උදේ 3.00ට... ගෙදර ඉන්නව වගේ තමයි.. තේ හදල ඉවර වෙලා තමයි කට්ටියට කථා කරන්නෙ..තේ හදල නැත්තන් එකෙක් වත් නැගිටින්නෙ නෑ...හික්ස්ස්..
       තේ හදල ඉවරවෙලා ඔක්කොටම කථාකරනව.. එතකොට තමයි කට්ටිය වැඩ නවත්තල එන්නෙ.. නිදාගෙන ඉන්න අය මල පෙරේතයො වගෙ එනවා... කියන්න අමතක උනානෙ... සමහර අය නිදාගන්න යන්නෙ බගෙට හෙලුවෙන්... ඇයි ඇදන් ඉන්න එව්ව පොඩි වෙනවනෙ නිදා ගන්නකොට.. ඒක නිසා ඔක්කොම ගලවල දාල තමයි නිදා ගන්නෙ...
        සමහර එවුන් ඉන්නෙ යට කලිසම පිටින්.. එහෙම්මමයි තේ බොන්න එන්නෙ.. මොකො වෙන කවුරුත් ඉන්න එකක්යැ දකින්න.... ආසාවට කියල ගෑනු පරානයක් ඉන්නව යැ.....
      ඔන්න ඔහොම කට්ටිය ඔක්කොම තේ බීලා ඉවරවෙලා ටික වෙලාවක් බයිල ගහනව.. ඊට පස්සෙ නිදාගෙන හිටපු අය ආයිත් වැඩ පටන් ගන්නව... අනිත් අය, ඒ කිව්වෙ මෙච්චර වෙල නිදිමරාගෙන කොටපු වවුල්ලු ටික දොයියන්න සෙට් වෙනව ඊලග ටී ටයිම් එක වෙනකන්. ඒ කියන්නෙ උදේ 6.00 වෙනකම්.....
      මට දැන් නිදිමතයි... මාත් යනව මුන් එක්ක උදෙ 6.00 වෙනකම් නිදා ගන්න....බායී.... මචෝ .. තේ හදල කථා කරපන් ඉක්මනට, නැත්තන් වැඩට යන්න පරක්කු වෙනව....එහෙම කියන්නෙ ආයිත් උදේට තමන්ගෙ ඉස්තීර රස්සාවට යන අය...... මුන් ගෙයක් දොරක් දකින්නෙ දවස් 2-3කට සැරයයි...ඔන්න ඔකයි ජීවිතේ....
වෙන දවසක බලමු උදේ 6.00 පස්සෙ මොකෝ වෙන්නෙ කියලා... බායී.... මාත් යනවා නිදාගන්න.. හෙට උදේට වැඩට යන්න තියෙනවා.....

Friday, July 22, 2011

රෑ කෑමෙන් පසු ආතල් එක.....

        අපි හැමෝම රෑට කන්න කෑමත් අරන් ඔෆිස් එකට ආව.. දෙතුන් දෙනෙක් ගෙදරින් තඩි බත් මුලක් බැදගෙන ඇවිත් තිබුන..අපරාදෙ කියන්න බෑ කනකොට හැමෝම හරිම එකමුතුයි.. එක එක්කෙනාගෙ කෑම මාරුකරගෙන කනව.. මට ඉස්කොලෙ ගිය කාලෙ මතක් උනා..
කොහොම කොහොම හරි පැයක් විතර විහිලු කරකර කෑම කාල සතුටු සාමීචියෙ යෙදෙන්න පටන් ගත්තා.. ඒ කියන්නෙ එක එකාගෙ පැටිගිරිය අරින වෙලාව...හප්පා හරිම කුජීතයි..
ඔන්න ඉතින් එක එකාගෙ හත්මුතු පරන්පරාවම මතක් කරනව, අපරාදෙ අර ගෙවල් වල ඉන්න අයට නින්ද යන්නෙ නැතුව ඇති.. මොකද මුන් කියන සුද්ද සින්හල මදිවට ඒක මැද්දට ගෙවල් වල ඉන්න අයත් එකතුකරනවනෙ..ලොල්...


හරිම ශෝක්, ඔෆිස් එකෙ ලන්ච් රූම් එක ඇතුලෙම දුම්පානය කරන්න පුලුවන්.. රෑට විතරයි හොදේ... දවල්ට බෑ...
            කියන්න තියෙන ඔක්කොම කුනුහරුප කියල කාපුඑක බහිනකන් හිනාවෙල ඔන්න ඉතින් වවුල්ලු සෙට් එක ඇතුලට ආව ආයිත් අර වැලගෙඩිය බදාගන්න...

ඔන්න දැන්නම් මුන්ගෙ කටවල් ටිකක් ඇරිල.. කන්න ඉස්සෙල්ල මුන් හිටියෙ ඇටත් එක්කම වැල මදුලු ගිලපු පොලොස් කොට්ටෝරුවො වගේනෙ... දැන්නම් නිදිමතක් නැතුව ඉන්න පුලුවන් වෙයි වගෙ...
කට්ටිය පිස්සු කෙලිනකොට අර මන් මුලින් කියපු සුපවයිසර් කොල්ලට මල පනිනව.. මම ඒක ලගනෙ වාඩිවෙලා ඉන්නෙ, මූ මටත් එක්ක වගෙ අනිත් අයට බෙරිහන් දෙනව කෑගැහිල්ල නවත්තල වැඩ කරන්න කියල.. හික් හික්.. මෙකෙ ඉන්නකොට මට මතක් වෙන්නෙ අපි ඉස්කෝලෙ හිටිය විදිය. හප්පා ඔන්න මරු කතාවක් මතක් උනා ඉස්කෝලෙ කිව්වහම...
        මම හිටියෙ කොමස් ක්ලාස් එකේනෙ, අපේ අල්ලපු පන්තිය ආර්ට් ක්ලාස් එක. ඒකට එනව බුද්ධාගම උගන්නන්න හාමුදුරුණමක්. හරිම ලස්සනයි, ජම්බු ගෙඩියක් වගෙ. කොල්ලන්ට හරිම ආදරෙයි. හරි ජොලි, මරු කතා කියන්නෙ. අපි හැමෝම කැමතී හාමුදුරුවොත් එක්ක කථා කරන්න. සමහර දවස් වලට අපිත් යනව ඒ ක්ලාස් එකට හාමුදුරුවන්ගෙ කථා අහන්න..
සමහර දවස් වලට අපි අපේ ක්ලාස් එකේ ඉදන් මරලතෝනි තියනවා හාමුදුරුවන්ට උගන්නන්න බැරි වෙන්න, තරහකට නෙමේ, හාමුදුරුවො ඇවිත් අපිට බනින විදිය අහන්න...හික් හික්.. කියන එව්ව මෙතන ලියනවනම් ස්ක්‍රීන් එකෙ කොටු දාන්න වෙනව...ලොලේ ලොල්...
       ඔන්න එක දවසක් අපි මරලතෝනි තිබ්බ හාමුදුරුවො ක්ලාස් එකේ උගන්නන වෙලවෙ.. ටික වෙලාවක් යනකොට මෙන්න වඩිනව හැටට හැටේ සිවුර කරට අරන්..හික් හික්.. අපිට හරි ජොලි.. ඇවිත් කියපි, තොපි මගෙ රෙද්ද ගලවන්නද හදන්නෙ, අර පැත්තෙ ඉන්න වල් හැත්තව සසර දුකින් එතෙර කරන්න ඕනෙ, එක නිසා තොපි මම යනකන් උඩුබුරන්නෙ නැතුව හිටු කියල...මාර ගති අපිට... හික් හික්..
      කොහොම කොහොම හරි රෑ 12 විතර වෙනකම් කට්ටිය පිස්සු කතා කිය කිය වැඩ.. අපරාදෙ කියන්න බෑ කට්ටිය ඔක්කොම පිස්සු කෙලින්නෙ ඔලුව වත් උස්සන්නෙ නැතුව.. මොකද ඔලුව ඉස්සුවොත් අර රෙකෝඩ් එකට කෙලවෙනවනෙ...ලොල්..

ඔන්න දැන් ටී ටයිම් එක.. මෙතන රෑට තේ හදන්නෙ මරුවෙන් මරුවට.. එක එක දවසට මාරු වෙලා තමයි වැඩේ වෙන්නෙ.. මටත් දවසක ඔය මගුලත් සෙට් වෙයි..හික්
ටී ටයිම් එකෙන් පස්සෙ මොකෝ වෙන්නෙ....
ඒක පස්සට....හික් හික්

Monday, June 27, 2011

රෑට තියෙන ආතල් එක....

             ගොඩ කාලෙකට පස්සෙ බ්ලොගියෙ තව කතාවක් ලියන්න චාන්ස් එකක් හම්බ උනා.... අපි බලමු රෑට මෙතන තියෙන ආතල් එක......

            ඔන්න ඔය විදියට රෑ කෑම වෙලවත් ලන් උනා.. දැන් වෙලාව රෑ 8.30 විතර ඇති...
දැන්නම් මට හිතෙන විදියට මේකෙ වැඩ කරන ඔක්කොම වගේ ඇවිත්, තියෙන කොම්පියුටර් ඔක්කොම බදාගෙන කන්න පුලුවන් ගානට වවුල්ලු ඉන්නවා....
ඔන්න අර මම කලින් කියපු සුපවයිසර් ගොයිය අහනව කට්ටියගෙන් කෑමට යනවද කියල... හරියට එයා කට්ටියට කන්න අරන් දෙන්න වගේ...
මේකෙ ඉන්න එවුන්ට කන්නත් මතක් කරන්න ඕන ඇති, නැත්තම් ඉතින් එලිවෙනකම්ම මේක බදාගෙන ඉදියී.
           ඔන්න එකා දෙන්න බොහොම අමාරුවෙන් නැගිටිනව කන්න යන්න, මටනම් ඉන්න බැරුව හියෙ.. කොයි වෙලාවෙ මෙතනින් පනින්නද කියල හිටියෙ... බඩ ගින්නට එහෙම නෙමෙයි... නිකොටින් ලෙවල් එක බැහැල... හික් හික්..
කට්ටිය ඔක්කොම පහලොවක් විතර ඉන්නවා. ඒකෙන් වැඩි දෙනෙක් දවල්ට වෙන තැන් වල රස්සාවල් කරන අය. ඒ අතරේ මම වගෙ මෙලෝ වැඩක් නැති දෙතුන් දෙනෙකුත් හිටියා..
මෙතන ඉන්න ලාබාලම කොලුපැටිය මම. මම ඉතින් කොහොමත් තැනේ හැටියට පොල්ලෙන් ගහන්න දන්න නිසා මේ වවුල්ලුත් එක්ක සෙට් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..
         පරක්කු වෙලා ආපු අය හරියට බෝඩිමට ආවා වගෙ.. හප්පා තියෙන උජාරුව.. ආපු ගමන් ඇදගෙන හිටපුව ගලවල නාගෙන එහෙම රෑට වැඩකරන්න වෙනමම සූට් එකක් දාගෙන කන්න යන්න සෙට් වෙනව... හරිම කුජීතයි....
දැන් මෙතන ඉන්න අය මාත් එක්ක සෙට්... නියම පිස්සු සෙට් එකක් ඉන්නෙ, අපරාදෙ කියන්න බෑ ඉන්න ඔක්කොටම පිස්සු... ඔහොම යන්කො... ලගදිම මුන්ගෙ පිස්සු ඩබල් කරල ගන්න....ලොලේ ලොල්....
අපි සෙට් එක බයිල කිය කිය කන්න ගන්න ආව කියමුකො කොල්ලුපිටියෙ හෝටලයකට, දැන්නෙ දන්නෙ මේ ඉන්න සිවිලින් බූතයො ටික කන්නෙ මෙතනින් කියල... මම නොදන්න හෝටල් කොහෙද තියෙන්නෙ කොල්ලුපිටියෙ... 
කඩේ ඇතුලට ගියා විතරයි ඔක්කොම ඉස්සරහ මුදලාලි කොල්ල අහපි සර් මේ අයත් එක්කද වැඩ කරන්නෙ කියල.... හප්පා... ලකුණු ගොඩයි... මම නිකන් ලොකු මිනිහ වෙන්නත් එක්ක කිව්ව ඔව් ඔව් කියල එතන ඉන්න හාල්පරුවන්ට ඇහෙන්නත් එක්ක..හික් හික්... මට මාර ප්ලේස් එක.. හැමෝම කොර වෙලා බලන් හිටිය මගේ දිහා... මට හිතෙන්නෙ මේ සිවිලින් බූතයන්ට කවදාවත් සර් කියල නැතුව ඇති...හික් හික්
             කොහොම කොහොම හරි වැඩට ගිය පලවෙනිම දවසෙ මට හොද ප්ලේස් එකක් සෙට් උනා.. මම ඉතින් අර මුදලාලි කොල්ලට හිතෙන් බැන බැන පිං දුන්නා කරපු සත්කාරයට... මෙතන කවුරුත් දන්නෙ නෑනෙ ඇත්තම සීන් එක.....ලොලේ ලොල් සීන් එකක් උනා, ඒකෙන් තමයි මට මේ මුදලාලි කොල්ලව සෙට් උනේ.. එව්ව ඉතින් එලිපිට කියන්න හොද දේවල් නෙමෙයිනෙ.. මුදලාලිගෙ චරිතෙට හොද නැති වෙන නිසා මම ඒක නොකිය ඉන්නම්....උගෙ චරිතෙට මොන මගුලක් උනාම මට මොකෝ... මගෙ එකටත් කෙලවෙනව නෙ....හික් හික්

රෑ කෑමෙන් පසු ආතල් එක... ඉක්මනටම කියන්නං ....

Monday, December 27, 2010

" ඒ " කෝ.. " බී " කෝ ජීවිතේ...

        මට රෙකෝඩ් දෙක තුනක් දාල පෙන්නපු අර ඇන්ටි මාව බාර දීපි වෙන ගෝතයෙකුට.. මට තියෙන ආදරේට වැඩිපුර උගන්නන්න නෙමෙයි..ගෙදර යන්න පරක්කු වෙලා, හරිම කුජීතයි නේද..?
    
 දැන් වෙලාව හවස 5.30 විතර වෙලා, දවල් වැඩ කරපු කට්ටිය ගෙවල් වෙලට යන්න දගලනවා. මෙලෝ සිහියක් නැතුව මොනවද කොලවල ලියනව ෆයිල් කවර බලාගෙන. මට නම් මෙලො සන්සාරයක් තේරෙන්නෙ නෑ මෙතන වෙන දේ...

      ඔන්න ඔහොම ලියපු කොල ටික එතන තිබුන ෆියිල් කවරයකට දාල හායී, බායී, ටටා, සීයූ, කිය කිය එකා දෙන්න ගෙවල් වලට යන්න පටන් ගත්තා. මම ඉතින් ඒ කාලෙත් පැණි හලන්න හරි දස්සයනෙ..ඒක නිසා ඔක්කොටම මමත් බායී, ටටා, සීයූ කිව්ව..මොකෝ ඉතින් අතින් පයින් යන එකක් යැ..  හික් හික් ...
ඉස්සෙලම යන්න පටන් ගත්තෙ හිටපු කෙල්ලො ටික, පෙනුම නම් මුන් කෙල්ලො වගෙ තමයි. අනේ මන්ද ඔව්ව..
මෙන්න බොලේ වැඩක්, හවස් වෙනකොට කොස් ගෙඩි බදාගන්න එන වවුල්ලු වගෙ රෑ වැඩ කරන අය එනව කොම්පියුටර් බදාගන්න...හරී ශෝක්...  


       එකෙක්ගෙන් නිදහස් වෙලා ටිකක් හුස්ම ගන්නවත් පින් කරල නැති කොම්පියුටර් තමයි මෙතන තියෙන්නෙ. අනේ පව්.. එකෙක් එලියට යනකොටම තව එකෙක් එනව ඒක බදා ගන්න.. උදේ ඉදන් හවස් වෙනකල් කෙල්ලන්ගෙ ලපටි ඇගිලි වලින් ගුටි කාපු කොම්පියුටරේ බොත්තන් ටික ආයිත් එලිවෙනකන් ගුටි කන්න එපැයි රෑට වැඩ කරන කොල්ලන්ගෙන්...
මට මතක් උනා 88/89 කාලෙ රෑට ඇවිත් අරන් යන කොල්ලන්ට උන සින්දුව.. උදෙ ඉදන් හවස් වෙනකම් කට්ටියක් අර කොල්ලන්ට නෙලනව. ඊට පස්සෙ උන් ගෙදර යන කොට වෙන සෙට් එකකට බාර දෙනව රෑ එලි වෙනකන් සබ්බුව දෙන්න...
අප්පට සිරි, දැන්නෙ දන්නෙ, මාව බාර දුන්නු ගෝතයත් රෑ වැඩ කරන වවුලෙක් කියල. මම හිතන් හිටියෙ ඒක මාවත් දාල ටටා කියල යයි කියල..
දැන් නම් ටිකක් කරන්න ඕන වැඩේ තේරෙනව, මේකා මට කියල දෙනව උගෙ වැඩත් නවත්තල. හොද එකා.. කාටවත් කියන්න එපා.. වැඩේ තේරුනාට තාම දන්නෙ නෑ මම මේ මොනවද එන්ට කරන්නෙ කියලා...හික් හික්..මරු නේද..
මම ටිකක් ඌත් එක්ක පොඩි ෆ්‍රෙන්ඩ්ලි චැටක් දැම්ම මේක මොකෙක්ද කියල අදුරගන්න. බැලින්නම් ඌ තමයි නයිට් ශිෆ්ට් එකෙ කෙරුම. ඒ කියන්නෙ සුපවයිසර්.. අවුලක් නැති වවුලෙක් වගෙ. මචන් ලෙවල් එකෙන් තමයි කතාව..
දැන් ටිකක් රෑ වෙන්න ඇවිත්, දවල් වැඩ කරපු ඔක්කොම කෙල්ලො ටික ගෙවල් වලට ගිහින්. කොල්ලො එකෙක් දෙන්නෙක් නම් එහාට මෙහාට දුවනව, උනුත් ඉක්මනටම යන්න වගෙ..

මට කරන්න කිව්වෙ අර රෝස පාට කොල වල තියෙන ඉලක්කන් පහකින් තියෙන නොම්බරයයි ඒකට අදාලව තියෙන ගානකුයි එන්ට් කරන්න කියල. බැලුවාමනම් ඒක එච්චර දෙයක් නෙමෙයි. වැඩේ තියෙන්නෙ ඉතින් කොම්පියුටරේ ඔය කියන ඉලක්කම් හොයන එකනෙ. හප්පා.. හොද වෙලාවට ඔය උලව්වෙ ඉලක්කන් එකේ ඉදල බින්දුව වෙනකම් නොම්බර දහයක් විතරක් තිබුනෙ. තව දහයක් පහලවක් තිබුන නම් මට ඉතින් කොම්පියුටර් දෙයියන්ගෙ පිහිටම තමයි....

ඔන්න දැන්නම් රෑ වැඩ කරන වවුල්ලු ටික ඔක්කොම වගේ ඇවිත්.. යමරෙට වැඩ. මුන් හරියට ගෙදර ගෑනිත් එක්ක තරහ වෙලා ඇවිත් වගෙ කෙලිනව බොත්තන් වලට උඩ දාගෙන. අනේ ඉතින් අපි හරි අහින්සකයි නෙ, ඒක නිසා බොහොම හිමින් රිදෙන්නෙ නැති වෙන්න ඉලක්කන් ගහනව. එක ඉලක්කමක් හොයාගෙන ඒක ගහල එනිත් ඉලක්කම හොයාගන්න කොට කොහොමත් තප්පර පහලොවක් විස්සක් යනව. මේකට කට්ටිය කියන්නෙ "ඒ" කෝ "බී" කෝ කියල. 
සෑහෙන්න කාලෙකින් වෙන්න ඇති මේ කොම්පියුටරයට පොඩි නිදහසක් ලැබුනෙ. ගුටි කෑවත් ඉතින් එකක් කාල අනික කනකොට ටිකක් වෙලා ගිහින්නෙ..හික් හික්..
කට්ටිය දොරෙන් ඇතුලට එනකොට නම් මාත් එක්ක හිනාවේගෙන එනව ඊට පස්සෙ හරියට අපි වැරැද්දක් කරල වගෙ නෝ හිනා නෝ කතා..කෙලිනව එකසිය ගානට.
කොහොම කොහොම හරි දැන් ඉතින් රෑ කෑම කන වෙලාවත් ලන් උනා. රෑ අට විතර. මෙන්න බොලේ කොහෙද අතරමන් වෙලා හිටිය තව වවුල්ලු දෙන්නෙක් එනව...
යකෝ මේක නිකන් හරියට වැඩ ඇරිල බෝඩිමට යනව වගේනෙ. මුන් දවල් තිස්සෙ වෙන කොහෙද වැඩ කරල රෑ වෙන කොට මෙහෙට එනව.. මුන්ට බෝඩින් ඕන නෑ. හරි මරු නේද...


අපි බලමු රෑට මෙතන තියෙන ආතල් එක වෙන දවසක.....


Sunday, December 19, 2010

නයිට් ශිෆ්ට් ජීවිතේ පලමු දවස.....

          මම කියපු වෙලාවටම ගියා අලුත් ජොබ් එකට. වේලාසන ගිහින් පාරවල් ගානෙ ඇවිදින්න බැරි නිසා කියපු වෙලාවටම කොල්ල ගිය එතෙන්ට.
         මම ගිහින් එදා මට කතා කරපු සීනිබෝල අන්කල්ව මීට් උනා. මෑන් ටිකක් හොද පාටයි. කතා කරන්නෙත් ටිකක් මචන් ලෙවෙල් එකට. මගේ තිබුන බය ටිකක් අඩු උනා පොරත් එක්ක දාපු චැටෙන් පස්සෙ.
මට කරන්න තියෙන දේවල් උගන්නන්න කියල තව ඇන්ටි කෙනෙකුට මාව සෙට් කරල පොර මාරු උනා. අනේ ඉතින් මට දෙයියන්ගෙම පිහිටයි. දෙයියන්ගෙ නෙමෙයි මේ ඇන්ටිගෙ පිහිටයි.. ඕක තමයි කියන්නෙ ඉගෙන ගන්න කාලෙ බහුබූත කර කර ඉන්නෙ නැතුව මොන මගුලක් හරි වැඩකට ඇති දෙයක් ඉගෙන ගන්න කියල...
         වෙලාව හවස හතරට විතර ඇති. කට්ටිය යමරෙට කොටනව කොම්පියුටරේ බොත්තන් වලට..එකම සද්දයයි. මටනම් නිකන් පිස්සු වගේ. ෆයිල් කවරයක දාල තියෙන රෝස පාට කොලයක් බලාගෙන කට්ටියක් කොටනව හුස්ම ගන්නෙවත් නැතුව. හරියට කෝච්චිය අල්ලන්න යන්න පරක්කු වෙලා වගේ. තව කට්ටියක් සුදු පාට කොල බලාගෙන කෙලිනව අර අහින්සක බොත්තන් වලට. එක්කෙනෙක් වත් බොත්තන් දිහා නිකමටවත් බලන්නෙ නෑ අනින එක හරියට ඇනෙනවද කියලවත්. හනේ හපොයි හරිම කුජීතයි..
        මම අර කලින් කියපු ඇන්ටි මාව එක්කන් ගිහින් වාඩි කරා කවුරුත් නැති කොම්පියුටරයක. ඇන්ටි කිව්වට එයා එච්චර වයස නෑ. වයස ඒ කාලෙ හැටියට ඕන්නම් මට වඩා අවුරුදු හයක් විතර වැඩි ඇති. පේන විදියට මෙයත් වරදක් නෑ.

මම හිටපු කාමරයෙ ගෑනු ළමයි තමයි වැඩිපුර හිටියෙ. ළමයි කිව්වට මුන් ළමයිමත් නෙමෙයි. පිරිමි අයත් හතර පස් දෙනෙක් හිටිය. හැමෝම පිස්සු හැදිල වගේ වැඩ. මට තේරෙන්නෙ නැති උනාට මොනව හරි ලොකු දෙයක් එතන වෙනව කියලනම් ශුවර්.
       මටත් අර කියපු වගෙ ෆයිල් කවරයක් දෙන ගමන් මගෙන් අහපි ඩේටා එන්ට්‍ර කරල තියෙනවද කී බෝඩ් එක බලන්නෙ නැතුව ටයිප් කරනන පුලුවන්ද කියල.. කී බෝඩ් බලන්නෙ නැතුව ටයිප් කරන්න මීට කලින් මම කොම්පියුටරයක වාඩි වෙලාවත් තියෙන එකක්යැ. එක්කො මුන්ට පිස්සු නැත්තම් මට පිස්සු මෙහෙම ජොබ් දෙනවට.
මම නිකන් හිනා වෙල කිව්වා නෑ කියල ඇගට පතට නොතේරෙන ගානට. නිකන් බොරු කියන්න ගිහින් උදේ පාන්දරම නා ගන්න ඕනෙ නෑනෙ.
      අප්පට සිරි කොම්පියුටරේ හැටි. මම හිතන්නෙ මේක දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට සුද්දො වැරදිලා වගෙ ගෙනාපු එක් වෙන්න ඇති. තඩි සයිස් කී බෝඩ් එකක් තියෙනව කොම්පියුටර් පෙට්ටියටම හයිකරල. කොල පාට අකුරු විතරයි ඒකෙ තියෙන්නෙ. තඩි යකඩ පෙට්ටියක තමයි ඔය අටමගලෙ තියෙන්නෙ. මේක පරන කාලෙ ආපු ටීවී එකක් වගෙ. මම මේ වගේ එකක් නම් කොහේදිවත් දැකල තිබුනෙ නෑ.
      ඔය කියපු යකඩ පෙට්ටියෙ එක කෙලවරක WANG කියල ගහල තිබුන.තරමක් ලොකු ස්ක්‍රීන් එකක් තමයි තිබුනෙ. දැන් තියෙනවගේ එකක් නෙමෙයි. අමුතුම ජාතියෙ එකක් මේක. ආසාවට බලන්නවත් පින්තූරයක් එන්නෙ නෑ. කොල පාට අකුරු විතරයි තියෙන්නෙ. හප්පා.. මාව කරකවල අත ඇරිය වගෙ... මේකට තමයි කියන්නෙ "කුම්බලම් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....

මම අර කලින් කියපු ඇන්ටි කොම්පියුටරේ මොකක්ද මන්ද අකුරු තුනක් තියෙන නමක් දාල ඒකට යටින් තරු පොලිමක් හගල බලන් හිටිය ඒක ඔන් වෙනකම්. ඊට පස්සෙ ටික වෙලාවක් ගියාම එකෙ තිබුන දේවල් වෙනස් වෙල වෙන ස්ක්‍රීන් එකක් ආවා. වෙන ස්ක්‍රීන් එකක් කිව්වට මොන උලව්වක් වත් නෑ එකෙ අකුරු වලට අමතරව. තියෙන්නෙ අර කොල පාට අකුරු විතරයි. හප්පා.. ඒකෙ තියෙන දේවල්...
මොනවද මන්ද බොත්තන් වගයක් ගැහැව්ව කීබෝඩ් එකේ උඩම පේලියෙ තියෙන. ගහගෙන ගහගෙන ගියා මිසක් නිකමටවත් මගෙන් ඇහැව්වෙ නෑ තොට මේක පේනවදවත් කියලා. මොනව කරන්නද.. මමත් ඔහේ බලන් හිටිය මිසක් මට වෙන මොන මගුලක්වත් තේරෙන එකක්යැ..
දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ බාගෙට එලිය වැටිච්ච අකුරු ටිකකුයි හොදට එලිය තියෙන ඉරි කෑලි පේලියකුයි.. ඒ වගෙ පේලි දෙකක් තියෙනව..
මට කරන්න තියෙන්නෙ අර ෆයිල් කවරෙ තියෙන රෝස පාට කොල වල තියෙන ඉලක්කන් මේකෙ ගහන්න. මට එකක් අර ඇන්ටි දාල පෙන්නුව. මමත් ඒක දාන්න ඕන විදිය කොල කෑල්ලක් අරන් ලියා ගත්තා, නැත්තම් ඉතින් මොනව දායිද කියල කව්ද දන්නෙ...

ඊලගට.... 
" ඒ " කෝ.. " බී " කෝ ජීවිතේ...
(අකුරු හොය හොය ටයිප් කරනවට තමයි එහෙම කියන්නෙ.) 

Sunday, November 28, 2010

මගේ මුල්ම රැකියාව...

කාලය : 1993 ජූලි. මගේ ගිය ආත්මෙ කරපු පව් පලදෙන කාලෙ තමයි මේක...
          මගේ තිබුන අකමැතිම රස්සාව තමයි කොම්පියුටර් ගැහිල්ල.. මොනව කරන්නද.. කියවලම බලන්නකො ඒකෙ ආතල් එක..

          මම ඉස්සෙල්ල කියපු අපේ අයියගෙ යාළුව, ඒ කියන්නෙ මට ඔය රස්සාව සෙට් කරල දුන්න හාදයා දවසක් අපේ ගෙවල් පත්තෙ ඇවිත් කියපි එයා වැඩ කරන තැන රස්සාවක් තියනවා කැමතිනම් සෙට් කරල දෙන්නම් කියල. මම දන්නව එයා වැඩ කරන්නෙ කොම්පියුටර් වැඩ තියෙන කොම්පැනියක කියල. රස්සාවක් නැතුව ගෙදර ඉන්න මට මොන මගුලක් හරි කරන්න ජොබක් ලැබෙනව කියන්නෙ ලොකු දෙයක් නිසා මම ඕන දෙයක් කරන්නම් කියල කැමති උනා වැඩේට...
         අපරාදෙ කියන්න බෑ මම ඒ වෙනකොට කවදාවත් කොම්පියුටරයක ඉදගෙනවත් තිබුනෙ නෑ. දැකලනම් තිබුන සමහර ඔෆීසි වල කට්ටිය ඈනුම් ඇර ඇර ඔය මේසෙ උඩ තියෙන බොත්තන් ගහපු බෝඩ් එකට ඇගිල්ලෙන් අනිනව..ඊට පස්සෙ හරියට ලොකුදෙයක් වෙලා වගෙ බලන් ඉන්නවා..හික් හික්..හරී ශෝක්...
         මමත් ඉතින් එන්න කියපු දවසෙ ඉන්න තරන් දෙයියන්ට වැදලා ගියෙ නැතැයි පලවෙනි ඉන්ටවීව් එකට. හවස හතරට විතර තමයි එන්න කියල තිබ්බෙ.. මගේ තියෙන ඇගේ අමාරුවට දවල් දෙකයි තිහේ ඉදන් මම එතන..කොහොම හරි එතන අයට දුක හිතිල වගෙ මට එන්න කිව්ව හතරෙන් පස්සෙ..මොනව කරන්නද.. මමත් ඉතින් මොනවද කාපු රිලව වගේ හා කියල ගියා පාර පැත්තට පොඩි රව්මක් දාන්න. වෙලාව කන්න ඕනෙ නිස ගියා ලිබර්ටි ප්ලාසා එක පැත්තෙ.. මොකද ඔය කියන ඔෆීසිය තිබුනෙ ලිබර්ටි ප්ලාසා එක ලගමයි..
         වෙලාව බලලා කොල්ල ආව ඉන්ටවීව් එකට, නැත්තම් ඉතින් ආයිත් දුක හිතිල කිව්වොත් ගිහින් පස්සෙ එන්න කියල....
        කොහොම හරි ඔන්න මගෙ මුල්ම ඉන්ටවීව් එකට වාඩි උනා කියමුකො.. කොල්ල ඉන්නව වාඩිවෙලා..මුලු ඇගම ගැහෙනව සට පට ගාලා.. බයේ බෑ.. වෙව්ලන වෙවිලිල්ලට ඉදගෙන ඉන්න පුටුවත් හෙලවෙනවා, මොනවා අහයිද කියලා කව්ද දන්නෙ, අනික මොනව ඇහැව්වත් මම මොකෝ ඔය පතෝල මැස්සෙ වැඩකරන්න දන්න එකක්යැ...

ඕනදේකට රෙඩි වෙලා මම ලොක්ක එනකම් වාඩිවෙලා හිටිය එයගෙ කාමරයෙ. එහෙම හිටියෙ මම දන්න උලව්වක් තියෙනවට නෙමෙයි, වෙන කරන්න දෙයක් නැති කමට.
මම හිතුවෙ දෙකේ හතරෙ බුවෙක් සෙට් වෙයි කියල ඉන්ටවීව් එකට. පස්සෙ බැලින්නම් මෙන්න බොලේ එනව සීනි බෝලයක් වගෙ අන්කල් කෙනෙක්..හරී ශෝක්...මම හිතන්නෙ මිනිහ තමයි ලොක්ක, පේන විදියටනම් මිනිහ ශේප් බුවෙක්.. මට ගුඩ් ඊව්නින් කියල වාඩි උනා වැඩේට.. මොන ගුඩ්ද.. වෙලාව එනකම් පාරවල් ගානෙ ඇවිදල කකුල් දෙකත් රිදෙනව, ලගට යන්න බෑ දාඩිය ගඳ.
        ලොක්ක මගේ ඇප්ලිකේශන් එක අතේ තියාගෙන ඒකෙ තියෙන විස්තර මගෙන් ඇහැව්වා. සමහර විට ඒකෙ තියෙන දේවල් එයාට කියවගන්න බැරුව ඇති. නැත්තන් ඉතින් ඒක දිහා බලාගෙන මගෙන් මොන උලව්වක් අහනවද. කොහොම හරි ඔන්න ඉතින් දන්න සෙල්ලන් දාල අහපු දේවල් වලට උත්තර ටිකනම් දුන්න. මොකද එකේ තියෙන සමහර දේවල් මමවත් දන්නෙ නෑ.
ඔන්න දැන් තමයි සබ්ජෙක්ට් එකට සෙට් උනේ...
        මට කරන්න තියෙන්නෙ ඩේටා එන්ට්‍රි. ඒ කියන්නෙ කොලයක් බලාගෙන ඒකෙ තියෙන හැම අටමගලයක්ම කොම්පියුටරයට දාන එක..සතියට දවස් තුනයි වැඩ. සදුද, බදාද, සිකුරාදා. වැඩේ තියෙන්නෙ රෑට..හවස පහේ ඉදන් උදේ අට වෙනකම්. නයිට් ශිෆ්ට් එකේ. නරකමත් නෑ නේද?

        ලොකු මිනිහ වගේ වැඩේ කරන්නම් කියල බාරගත්තට ජීවිතේට කොම්පියුටරයක් අතින් අල්ලලවත් තිබුනෙ නෑ. ඒක ඉතින් එයාට කියන්න ඕනෙ නෑනෙ...
       මට ඊලග සතියෙ සදුදා ඉදන් වැඩට එන්න කිව්වා. ටිකක් වේලාසන එන්න කියලත් කිව්වා. සමහර විට ආයිත් මට පාරවල් ගානෙ යන්න වෙයිද දන්නෙ නෑ වේලාසන ඇවිත්..හික් හික්.

අපි පස්සෙ බලමු ලබන සතියෙ මොකද උනේ කියල...........


Sunday, November 21, 2010

ඉස්කෝලෙන් එලියට දැම්මට පස්සෙ....

           ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා.. ලංකාවෙ හැමෝම වගෙ ඉස්කෝලෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා රස්සාවක් කරන්න පුලුවන් විදියට.... සිංහල, ආගම, ඉතිහාසය.... තව ගොඩක් දේවල් තිබුනනෙ, අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තු දේවල් වලින් මොන උලව්වක් වත් කරන්න බෑ කියල තේරෙන්නෙ දැන් තමයි...

ආ... මතක නැති උනානෙ කියන්න.. ඉස්කෝලෙ යනකාලෙ, ඒ කියන්නෙ ඕලෙවල් ඉවර උනාට පස්සෙ හැදුනනෙ තවත් බඩේ අමාරුවක්..මොකක්ද දන්නවද? ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුනනෙ කැඩෙටින් වලට. අපිත් එක්ක හිටපු ගොඩාක් අයට ඔය බඩේ අමාරුව හැදිල තිබුන.. අනික ඕකෙ හිටපු සීනියර්ල ඒ කියන්නෙ පරණ අය ගොඩක් හිටියෙ අපේ යාලුවො..උන්ගෙ තියෙන මලවදයට තමයි ඉතින් අපිත් ඕකට සෙට් උනේ.. කොහොම කොහොම හරි අපේ පන්තියෙ හිටපු හොදම ටික ඒ කියන්නෙ බුලට් වැඩ කාරයො ටික ඕකට සෙට් උනා..තව අල්ලපු පන්තියෙනුත් දෙතුන් දෙනෙක් සෙට් උනා. 

කැඩෙටින් ජීවිතේ ගැන නම් කියන්න ගොඩාක් දේවල් තියෙනව.. අපි පස්සෙ ඒ ගැන වෙනම පිටුවකින් බලමු..

         ඉස්කෝලෙන් එලියට ඇවිත් ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට උදේ ඉදන් රෑ වෙනකන් ගෙදර අය කිව්වෙ මොනව හරි ඉගෙන ගනින් රස්සාවක් කරන්න කියලා. මොන ඉටිගෙඩියක් ඉගෙන ගන්නද? අවුරුදු 13ක් ඉගෙන ගෙනත් රස්සාවක් කොරන්න පුලුවන් විදියට මොන උලව්වක් වත් ඉගෙන ගන්න බැරි උන එකේ දැන් පුලුවන්ද එක්ස්ප්‍රස් එකේ ජොබ් එකකට ඉගෙන ගන්න..

ගෙදර අයගෙ කටේම තිබුනෙ කොම්පියුටර් ගහන්න ඉගෙන ගන්න කියල... මට පෙන්නන්නම බැරි සබ්ජෙක්ට් එක තමයි ඕක.. මෙලෝ රහක් නෑ.. මට දිරවන්නෙම නැති වැඩේ තමයි ඔය උදේ ඉදන් හවස් වෙනකම් පුටුවකට වෙල වාඩි වෙලා ඉන්න එක..

රස්සාවක් නැති හෙනේ තිබුනෙ මට විතරක් නෙමෙයි. මාත් එක්ක ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගොඩ දෙනෙකුට ඔය නස්පැත්තිය වෙලා තිබුන. ඉස්කෝලේ යන කාලෙ වෙන බහුබූත කරකර හිටිය මිසක් ඕකෙන් එලියට ආපුදාට කොරන මගුල හිතුවෙ නෑනෙ ඔය හිටපු එක බූරුවෙක්වත්..දැන් තමයි රගේ දැනෙන්නෙ.. ඕකට තමයි කියන්නෙ අපේ පරන ජොකියො "කුම්බලන් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....

මම ඉස්කෝලෙ පලවෙනි පන්තියෙ විතර ඉන්න කාලෙ අපේ තාත්තා රස්සාවෙන් අයින් වෙලා හෝටලයක් පටන් ගත්තා ගෙවල් ලගම තියෙන අපේ අම්මගෙ මහ උන්දලාගෙ ඒ කිව්වෙ ආච්චිගෙ බිල්ඩිමක. තත්තා රස්සාවෙන් අයින් උනේ අපිට මහ ලොකු දෙයක් තියනවට නෙමෙයි, ජීවත් වෙන්න අම්මට ලැබුන රු.225/=  පඩියයි තාත්තට ලැබුන රු.90/=  පඩියයි මදිනිසා.

ඔය කාලෙ අපේ ගෙදර බිත්තර ගන්න හදපු කිකිළියො රන්චුවකුත් හිටිය. රන්චුවක් කිව්වට ඒකෙ කිකිළියො 1500ක් විතර ඉන්න පොඩි කූඩු දෙකක් තිබුනෙ..අපේ අම්මයි තාත්තයි තමයි ඔය සබ්ජෙක්ට් එක කරේ.. උදේට රස්සාවට යන්න කලින් කිකිළියන්ගෙ රාජකාරිය කරල දාපු බිත්තර එකතුකරල කඩවල් වලට දාන්න ලෑස්ති කරල තියල තමයි දෙන්නත් එක්ක වැඩට යන්නෙ..බිත්තර විකුණලා ඒකාලෙ හොද ගානක් හොයාගත්තා..ඒක තමයි අපිට තිබුන අමතර ආදායම හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා..

හෝටලය දැම්මට පස්සෙ ඒක ටිකක් හොදට දියුනු වෙලා ආවා.. හොදට බිස්නස් තිබුන..වැඩ කරන්නත් ගොඩක් අය හිටිය..තාත්තගෙ සහෝදරයො ඒ කිව්වෙ මගේ බාප්පල සෙට් එකත් තාත්තට සපෝට් එකට හෝටලේ දාපු කාලෙ හිටිය..

මම ඉස්කෝලෙන් එලියට එන කාලෙ වෙනකොට අපේ ගෙදර තත්වය ඒ කිව්වෙ අපේ ආර්ථික තත්වය බොහොම හොද තැනක තිබුනෙ. අපිට කියල විශේශ ප්‍රශ්නයක් තිබුනෙ නෑ.. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්නයෙන්ම යන්න ඕනෙ අපේ අම්මටයි තාත්තටයි..

මම ඉස්කෝලෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කාලේ හෝටලෙ මුදලාලි පට්ටමත් කරා..ඒකත් වරදක් නෑ.. සාක්කුවෙ කොයිවෙලෙත් හොදට සල්ලි තියෙනවනෙ. හොරකන් කරල නෙමෙයි පේන්නම අරන්.

අපිත් එක්ක එකට කැඩෙටින් කරපු අපේ යාළුවො දහයක් විතර හමුදාවට ගියා. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ල හැටියට. හොද වෙලාවට මට ඔය බඩේ අමාරුව හැදුනෙ නෑ. ඒ ගිය අයගෙන් දෙතුන් දෙනෙක් අද වෙනකොට මේ ලෝකෙන් ටිකට් එක කපාගෙන ඉවරයි. ඒ කාලෙ හමුදාවට යනව කියන්නෙ ගෙදර අය අමතක කරනව කියන එක තමයි.

හෝටලේ මුදලාලිකම කරන කාලේ හැමදාම වගේ හවසට කඩේ ලගට මගෙ යාළුවො ටිකක් සෙට් වෙනව. මට තියෙන ආදරයට නෙමෙයි, මාවත් ඇදන් බොන්න යන්න. ඒකාලෙ ටිකක් හොදට බොන්න පුලුවන්. බඩගෙඩියත් ටිකක් ලොකුවට තිබුනනෙ දැන් වගේම. පොඩි ඩ්‍රින්ක් එකක් දාල රෑට කාලම තමයි ගෙදර එන්නෙ. කවදාවත් ගෙදරට මාට්ටු වෙලා නෑ බීලා ඇවිත්. මට කියල වියදමක් යන්නෙත් නෑ. අපරාදෙ කියන්න බෑ යාළුවෝ ඔක්කොම වියදන් කරනව. මට තියෙන්නෙ කාල බීලා එන එක විතරයි.


            ඔන්න ඔහොම ටික කාලයක් ඒ කියන්නෙ මාස ගනනක් යනකොට මට අයියගෙ යාළුවෙක් රස්සාවක් සෙට් කරල දුන්න. යාළුවෙක් කිව්වට එයා අපේ පවුලෙ කෙනෙක් වගෙ. අපි බොහොම කිට්ටුවෙන් ආස්සරය කරෙ..

මගේ මුල්ම රැකියාව... කමින් සූන්....

Friday, November 19, 2010

මම ගැන ටිකක්‌....



උප්පැන්නේ ඇති නම : කෝරාල මුදලිගෙ මිලින්ද වීරසේකර
උපත                         : 1974-04-03
ස්ථානය                    : වැල්ලවත්ත
මව                            : ස්‌වර්නලතා කුමාරිහාමී වීරසේකර
පියා                          : ගුනදාස වීරසේකර

ඔන්න ඔහොම තමයි උප්පැන්නෙ තියෙන්නෙ....

ගෙදර අය ගැන ටිකක්....
මම පවුලෙ දෙවෙනිය..මට වඩා අවුරුදු 6ක් වැඩිමහල් සහෝදරයෙක් ඉන්නව..වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රදර්...


අම්ම රක්ෂන සංස්ථාවෙ ජොබ් එක කරේ. දන්න තරමින් නම් ලංකාවෙ තියෙන ලොකුම කැම්පස් එකකින් ගත්ත ඩිග්‍රී තියෙනවා.. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව සහ ලෝක ඉතිහාසය ගැන...අයියෝ අපරාදෙ ඉගෙන ගත්ත දේවල්. ඉගෙන ගත්තු දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් උනානෙ කරපු රස්සවට...උදේ ඉදන් කුරුටු ගාපු එක තමයි කරේ... මොකෝ රක්ෂන සංස්ථාවෙ ඉදන් කැනීම් කටයුතු කරන්නයැ...ඔන්න රටේ අය දුන්න රස්සාව...

තාත්තා ප්‍රයිවෙට් පාමසියක වැඩ කරා. බෙහෙත් සන්යෝජක හැටියට. ඒක ඒ කාලෙ ටිකක් හොද රස්සවක්. සමහර අය අදටත් තාත්තව හම්බවෙන්න එනවා බෙහෙත් අහගන්න.

මම පොඩි කාලෙ ඒ කියන්නෙ ඔය ජන්ගිය ඇදන් ඉස්කෝලෙ යන කාලෙ...මොන්ටිසොරියකට ගියානෙ..ඒක තිබුනෙ අපේ අම්මගෙ මහගෙදරට අල්ලපු වත්තෙ..හරි මරු.. හිතුන ගමන් කොල්ල දුවනව ආච්ච්ලාගෙ ගෙදරට..මොන අලබෝලයක්වත් කන්න නෙමෙයි, මොන්ටිසෝරියෙ ඉන්න කම්මැලි කමට..මේකා ආවහම මලවදේ කියල ආච්ච් කනෙන් අල්ලන් ගිහින් ආයිත් මොන්ටිසෝරියට දානව...මොනව කරත් කොල්ල මොන්ටිසෝරියෙ හොදම එකා..හැම වැඩක්ම හොදට කරනව...

කොහොම කොහොම හරි ඒ කාලෙත් පැන්න කියමුකො..


මම ඉස්කොලෙත් ගියා...ඒක ගැනත් ටිකක් කියන්නම්...
යාන්තම් වයස සෙට් වෙනකොට කොහොම හරි දන්න සෙල්ලන් ඔක්කොම දාල ගෙදර ඇඩ්‍රස් එක වෙනස් කරල කොල්ලුපිටිය පැත්තෙ ගෙදරක ඇඩ්‍රස් එකක් දාල කොහොම හරි මහානාම විද්‍යලයට ඇප්ලිකේෂන් එකක් දාල යාන්තම් ඉස්කෝලෙ සෙට් කරගත්තා...



මහානාමේ පලමු දිනේ...

ඔන්න ඔක්කොම දහන්ගැට ගහල මහානාම ඉස්කෝලෙ සෙට් කරගෙන පලවෙනි දවසෙ ඉස්කෝලෙ ගියා කියමුකො...
හප්පටසිරි ඒකෙ හැටි..මාරයි..හරිම ලොකුයි..කොල්ලො පිරිල..මම ගිය මොන්ටිසෝරිය වගේ නෙමෙයි මේක. එක එක සයිස් වල කොල්ලො ඉන්නව..මම හොටු පෙරාගෙන අඩන්නව දැක්ක ලොකු කොල්ලො මට නිකන් කින්ඩියට වගෙ හිනා උනා මට යාන්තම් වගෙ මතකයි..ඒ වගේම මම කවදා හරි උන්ට රිටන් එක දෙනව කියල හිතා ගත්ත එකනම් හොදට මතකයි...
මම ඇඩුවෙ බයකට නෙමෙයි, ගිය පලවෙනි දවසෙම දැක්කෙ කොල්ලො දෙන්නෙක් ගහක් යට මරාගන්නව..එකෙකුට හම්බානෙට නෙලනව...මට නිකන් මැවිල පෙනුනා ලොකු එකෙක් මට නෙලන විදිය...

කොහොම කොහොම හරි ටික ටික ලොකුවෙන්න පටන් ගත්තා, ඉස්කෝලෙ පන්ති වල ඉලක්කන් ටික ටික වැඩි වුනා.. ඒ කිව්වෙ පහල බාලාංශයෙන් පලවෙනි පන්තියට, ඒකෙන් දෙකට, දෙකෙන් තුනට......
දැන් කොල්ල ටික ටික ලොකු වෙලා, දැන් කවුරුත් කින්ඩිය දාන්න එන්නෙ නෑ.. මගේ ඇති උලව්වකටන නෙමෙයි, හැමෝම දැනගෙන හිටිය මගේ අයියත් ඉන්නෙ ඔය ඉස්කෝලෙ කියල..ඒක නිසා මට කවුරුත් වැඩිය සෙල්ලන් දාන්න ආවෙ නෑ..

ඔන්න ඔය විදියට ඉස්කෝලෙ ටික ටික ලොකු පන්තිවලට ආව.. දැන් වගේම තමයි ඒ කාලෙත්. මොකක් හරි කරන්න ඕනේ කියල හිතුනොත් කොහොම හරි ඒක කරනව..නැත්තම් ඒ බඩේ අමාරුව හොද වෙන්නෙ නෑ..
මට මතක හැටියට මම අටේ පන්තියෙ ඉන්න කාලෙ ඉස්කෝලෙ හොදම සෙල්ලම තමයි වුෂු ක්‍රීඩාව...මාත් එක්ක හිටපු ගොඩක් යාලුවො ඔය කෙහෙල් මල ඉගෙන ගත්ත. ඉගෙනගෙන අත පය තියගෙන ඉන්න එකක්යැ.. ඇවිත් අපිටත් සෙල්ලන් දාල පෙන්නනවා..ඔන්න ඉතින් මේ හරකටත් බඩේ අමාරුව හැදෙන්න පටන් ගත්තා ඔය මගුල ඉගෙන ගන්න..
දන්න තරන් බයිල ගහල යාන්තන් ගෙදරින් පර්මිශන් ගත්තා වුෂු ඉගෙන ගන්න..කොහොම හරි ගෙදර කැමති කරගෙන ගියෙ නැතැයි වුෂු පන්තියට..
හප්පා.. හිතන තරන් වැඩේ ලේසි නෑ කියල තේරුනේ ගියාට පස්සෙ..මට මතක් උනා මම ඉස්කෝලෙට ආව පලවෙනි දවසෙ අර පොඩි කොල්ලට ලොකු එකා නෙලපු නෙලිල්ල..ඒ වගේම මෙතනත් එකෙක් තව එකෙකුට නෙලනව..මොන බූරුවෙක්ද දන්නෙ නෑ..ගුටි කකා ඉන්නෙ.. එක්කො අතට අහුවෙන දෙයකින් දමල ගහන්න ඕනෙ අරූගෙ ඔලුව පොඩිවෙන්න, නැත්තන් ඌට අල්ල ගන්න බැරි වෙන්න ගෙදරටම දුවන්න ඕනෙ..කොහොම හරි මමත් යාන්තම් ශේප් වෙලා පලවෙනි දවස ඉවර කර ගත්තා..

යාන්තන් මාසයක් විතර ගුටිනොකා ශේප් වෙලා වැඩේ ඉගෙන ගත්ත..හැමදාම ශේප් වෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ කියල තෙරුනෙ උගන්නපු මහ කෙරුම මගෙ කනෙන් ඇදන් ගිහින් රිං එක මැද්දෙ හිටෙව්වට පස්සෙ..හප්පා..දැනෙන සනීපෙ..කකුල් දෙක ගැහෙනව නිකන් සිම්බල් ගහනව වගේ.. මුලු ඇගම දාඩියට තෙමිල තිබුනෙ, ඒ බයට නෙමෙයි..
කොහොම හරි එදා මට සෙට් උනෙ පොඩි එකෙක්. මට වඩා මාස තුන හතරක් පරන එකෙක් උනාව සයිස් එකෙන් පොඩියි. මගෙ තිබුන බය නැ නෑ වැරදුනා චකිතය ටිකක් අඩූ උනා මේකව දැක්කහම. ඔන්න වඩේ පටන් ගත්තා, ඒක එහෙට මෙහෙට පනිනව රිලවෙක් වගෙ..මමත් වැඩේ අතහැරියෙ නෑ. දන්න සෙල්ලන් දාලා ඇන්න එකක් දෙකක්..වැඩේ හරි..මට මේකව බිම දාන්න පුලුවන් කියල තේරෙනකොටම ඇනෙන් නැද්ද මේකා මගෙ බඩ මද්දට..ඔන්න ඉතින් මට මල පනින වෙලාව..මගේ බඩට ගහපු එකෙකුට හොදින් යන්න දෙන්නෙ නැති එක මට ඒ කාලෙ තිබුන ලෙඩක්..මමත් අත ඇරියෙ නෑ. ඇන්න එකක් උගෙ හොම්බට..වැදුන පාරට ඌ මලකද වගෙ ඇදන් වැටුන රිං එක මැද්දෙ..මට හරි ජොලි..වටේට හිටපු අනිත් අය ඔක්කොම අප්පුඩි ගැහැව්වා..මමනෙ දන්නෙ මේකා බිම දාන්න මම වින්ද දුක...

ඔය විදියට ටික දවසක් ගියා..එක දවසක් මට සෙට් උනා ටිකක් ලොකු එකෙක්..ඔන්න ඉතින් මගෙ කකුල් දෙක විතරක් නෙමෙයි මුලු ඇගම ගහෙන්න පටන් ගත්තා..මොනව කරන්නද!  ඇග කහනවටනෙ මේක කරන්න පටන් ගත්තෙ..!! උගන්නන මහ කෙරුම රැවුල කරකව කරකව බලන් ඉන්නවා..ඕන දෙයක් කියල මමත් සෙට් උනා වැඩේට..හරිම කුජීතයි...හිතන්නවත් වෙලාවක් උනෙ නෑ..දමල ඇන්නෙ නැද්ද මගෙ හොම්බට මේකා..මට මතක එච්චරයි..සිහිය එනකොට මම ඉස්කෝලෙ සික් රූම් එකේ..නහයට ප්ලාස්ටර් ගහල..හුස්ම ගන්නත් බෑ.. මට ඇනපු එකා ඉන්නව පුටුවක වාඩි වෙලා හරියට උගෙ නහයෙ පොල්ල කැඩිල වගේ...
යාන්තන් ඔන්න ගෙදර ආවා..ඉස්කෝලෙන් ගුටිකාලා ගෙදරිනුත් ගුටිකන්න බැරි නිසා මම කිව්ව බාත් රූම් එකේ ලෙස්සල වටුන කියලා..යාන්තන් වඩේ ශේප්...දවස් දෙක තුනක් ගෙදර..මට තේරුන මේ වැඩේ හරියන්නෙ නෑ කියල..හැබැයි බඩේ අමාරුවනම් හොද උනෙ නෑ..කොහොම හරි වෙන දෙයක් හරි ඉගෙන ගන්න හිතුව...

ඉස්කෝලෙ පන්තියට යන එක එහෙම්මම නැවතුනා..මට සෙට් උනා ෂෝටෝකාන් පන්තියක්, අපි දන්න කෙනෙක් තමයි එකෙ මහ ගුරා..කොහොම හරි ඒක ඉගෙන ගත්තා..එකනම් මරු.. ඉගෙන ගත්ත විතරක් නෙමෙයි ඒ කලෙ තිබුන හැම තරගයකටම ගියා.. කොහොම කොහොම හරි වයස 17 පහල ලංකාවෙ හොදම වැඩකාරය කියල සහතිකයකුත් හම්බ උනා එක තරගයකින්...

ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා..ඕ ලෙවල් ඒ ලෙවල්.....

පාසලෙන් පසු....... in next page