Saturday, February 25, 2012

ජොබේ පලමු පඩිය....

             ඔන්න ඔය විදියට රෑ එලි වෙනකම් පිස්සු නටන අපි උදේට කිසිදෙයක් දන්නෙ නැති බබාල වගේ ඉන්නව. වෙන අහවල් මගුලකටවත් නෙමෙයි, උදේට එන ගෑණු පරාණ වලට චාටර් වෙන්න බැරි නිසා.. සමහර අයනම් කියනව මම හරී ශෝ..ක් කියල..හික්ස්.. අපේ සමහර රෑට වැඩකරන අය ගෙදර යන්නෙත් නැතුව ඉන්නව සමහර වෙලාවට උදේට එන අය බලලා යන්න.. ඔන්න මේ මම නම් නෙමෙයි හොදේ...
            උදේ 8.30 වෙනකොට දවල්ට වැඩකරන ගෑණු පරාණ ඔක්කොම වගේ එනව. මුන් ආපු ගමන් කරන්නෙ මේස ඩෙටෝල් දාල පිහදාන එක.. ලොල්.. උන් දන්නව අපි රෑට මේස උඩ නිදාගන්න විදිය.. හික්ස්... සමහර එවුන් නිදා ගන්නෙ යට කලිසම පිටින් විතරයිනෙ...
           දින සති ගෙවිල ගියා.. වෙන අය දවසකට රෙකෝඩ් හාරදාහක්, පන්දාහක් දානකොට මම බොහොම අමාරුවෙන් දවසකට රෙකෝඩ් පන්සීයක්, හයසීයක් විතර දාගත්තා.. දවල්ට වැඩකරන අය කරන්නෙ රෑ එන්ටර් කරපුව වෙරිෆයි කරන එක. ඒ කියන්නෙ හරි වැරදි හදන එක. දවල් වැඩ කරන අය මට කියනව ඔයා හොදට එන්ටර් කරල තියෙනවා කියල.. ඉතින් එහෙම වෙන්න එපැයි, ඉලක්කන් එකෙන් එක බලලනෙ ගහන්නෙ...
         ටික දවසක් යනකොට දවල් වැඩ කරන අයත් මගෙ හොද යාලුවො උනා.. කොහේ ගියත් මට කට්ටිය නිකම්ම සෙට් වෙන පුරුවෙ කරපු අකුසල කර්මෙ ඒ දවස් වලත් හොදට පල දුන්නා... හික්ස්.. නිදිමත තිබුනත් උදේ එන අය එක්ක ටිකක් කථා කරල විහිලුවක් කරල ගෙදර යන එක පුරුද්දක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ..
        වැඩ ඇරිල ගෙදර ආව කියල අමුතුවෙන් කරන්න දෙයක් තිබුනෙ නෑ නිදා ගන්නව ඇරෙන්න.. ඒක නිසා මම ටිකක් දවල් වෙනකම් ඔෆිස් එකේ හිටිය ඒ ගොල්ලො කරන දේවල් බලාගෙන. ඇත්තම කියනවනම් දවල්ට කරන වැඩ දැක්කාම ඇඩෙනව අපි මොනවද රෑට කරන්නෙ කියල. මුන් ඔක්කොම කඩියො වගේ වැඩ.. කථා කරන්නවත් වෙලාවක් නෑ..
         කොහොමින් කොහොම හරි වැඩට ගිහින් මාසයක් වෙන්නත් ආව.. හැමෝම වගේ මාත් කට ඇරගෙන බලන් හිටිය මාසෙ පඩිය ගන්න.. පඩි ගෙවන්නෙ මාසෙ අන්තිම දවසට.. කට්ටිය මාසෙ අන්තිම දවස වෙනකම් ඉන්නෙ බොහොම අමාරුවෙන්. මාසයක් නිදි මරාගෙන එන්ටර් කරපුවගෙ රිසල්ට් එක තමයි ඔය මාසෙ අන්තිමට ලැබෙන්නෙ.. වෙන ජොබ් එකකනම් දන්නව අනිවාරයෙන් මාසෙට පඩිය කීයක් හම්බවෙනවද කියල, මේකෙ ඉතින් තමන් මාසෙ කොටපු තරම තමයි හම්බ වෙන්නෙ..
        මගේ පළවෙනි පඩි දවස අපි වැඩකරන දවසකටම සෙට් වෙලා තිබුන. ඒක නිසා එදා ටිකක් වේලාසනම ඔෆිස් එකට ගියා.. එහෙම එන්න කියල මට කිව්වෙ රෑ වැඩ කරන අනිත් අය.
       අපේ කොම්පැනියෙ එක එක නම් වලින් ඔෆිස් ගොඩක් තිබුන ඒ කාලෙ. ඔය හැම එකකටම පඩි ගෙව්වෙ එක්කෙනෙක් ඒ ඒ ඔෆිස් එකට ඇවිත්. එයා දැන්නම් ජීවතුන් අතර නෑ.. එයා ඇවිත් වෙනම කාමරයකට වෙලා ඉන්නව, වැඩ කරන අය පෝලිමට යනව එයා ලගට පඩිය ගන්න.. මූන බලල තමයි පඩිය දෙන්නෙ.. ආදරේට නෙමෙයි.. මූන දැක්කහම මිනිහට නම මතකයි.. ඕනම කෙනෙකුගෙන් එක සැරයයි නම අහන්නෙ. ඊලග මාසෙ එයාගෙන් ආයිත් නම අහන්නෙ නැතුවම පඩිය දෙන්න තරම් එයාට නම් මතකයි..
        ඔන්න ඉතින් අපිත් සෙට් උනා පඩි ගන්න.. දවල් වැඩකරන අය ඉස්සෙල්ලාම ගියා පෝලිමෙ.. හිකි හිකි ගගා හිනා වෙවී පෝලිමේ හිටපු ගැටිස්සියො, අර කියපු කාමරේට ගිහින් පඩිය අරන් එලියට එන්නෙ හරියට අර පඩි දෙන අන්කල් මුන්ට අතවරයක් කොරල වගෙ.. මූන රතුවෙල කන් කඩන් වැටිල ඇස් රතු වෙල... බලන්නත් දුකයි.. කිසිම හිනාවක් නෑ. මොනව කරන්නද.. "මාසෙ කොටපු තරමට තමයිනෙ බබා වැනෙන්නෙ" හික්ස්..  ඔය කථාව රෑ වැඩ කරන අයගෙ නිතරම කටේ තියන දෙයක්... ඒකෙ ඇත්ත හරියටම තේරෙන්නෙ මේ මූනවල් දැක්කහම තමයි.
       අපිත් ඉතින් අන්තිමට පෝලිමට සෙට් වෙලා ගියා මාසෙ රිසල්ට් එක ගන්න.. අපේ අයත් දවල් අයට දෙවෙනි නෑ. පඩිය අරන් එලියට එන්නෙ රටේම තියෙන කුණු හරප කියාගෙන...
අනේ ඉතින් මේ අහින්සකයත් ගිහින් වාඩි උනා අර අන්කල් ලග. මූන බලලා ඇහැව්ව අලුතෙන් නේද නම මොකක්ද කියල. මම නම කිව්ව විතරයි කොල මිටියක් අරන් පෙරලල දුන්න එක කොලයක් අත්සන් කරන්න කියල. මමත් ලොකු මිනිහ වගෙ අත්සන් කරා එකෙ තියෙන මොන අටමගලයක්වත් බලන්නෙ නැතුවම.. තව කොලයක් අතට දුන්න. මෙන්න බොලේ මිනිහ ගනිනව සීයෙ කොල පනහෙ කොල දහයෙ කොල එකසිය ගානට... කෙල ගගා ගනිනව.. හප්පා බලන් ඉන්නත් දුකයි අර අහින්සක කොල වලට කරන දේ දැක්කහම... තුන් පාරක් විතර ගැනල දුන්න මට සල්ලි මිටියක්. මමත් බලන්නෙ නතුවම දාගත්ත සාක්කුවෙ. මම මොනව බලන්නද, අරය ඇති වෙන්න බලලානෙ දුන්නෙ...
        එදා දවසත් පුරුදු විදියටම ගෙවිල ගියා.. හැබැයි වෙනදට වඩා ටිකක් අදෝනාවනම් තිබුන.. ඒ පඩි දවස නිසා..
        පහුවෙනිද ගෙදර ගිහින් අම්මට කිව්ව මහ ලොකුවට මට පඩි හම්බ උනා කියල.. අම්ම මගෙ මූන බලල අහපු කියපු දේවල් මට අද වගේ මතකයි.. හිනා වෙලා මට කිව්වෙ එකම එක දෙයයි.. "ඔය පඩිය බැංකුවක දාගන්න, වියදමට සල්ලි ගෙදරින් ගෙනියන්න" කිව්ව.. මගෙන් එක පාරක් වත් ඇහැව්වෙ නෑ කීයක් හම්බ උනාද කියල. අම්ම දන්නව හම්බවෙන්නෙ එන්ටර් කරපු ගානට කියල...
මම අම්මට කිව්ව හම්බ උනෙ රුපියල් 625/= යි ඒක බැංකුවෙ දාන්න ගිහින් වැඩක් නෑ කියල.....
        මට දැන් වගෙ මතකයි එහෙම කිව්වාම අම්මගෙ මූනට ආව හිනාව.. ඒ මූනෙ ගොඩාක් දේවල් ඒ හිනාවත් එක්ක තිබුන. මම දන්නව අම්ම හිනා උනේ මම ගත්ත පඩියට නෙමෙයි කියල.. එදා අම්මට හිතෙන්න ඇති මට මේ කොම්පැනියෙ ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි කියල.. ඔව් අම්මෙ, අම්ම අද ජීවතු අතර නැති උනත් අම්ම හිතපු ඒ ගමනෙ අන්තිම පුටුවෙ වාඩි වෙලා තමයි මම මේ කොම්පැනියෙන් එලියට යන්නෙ..ඒ ගමනෙ අන්තිම පුටුවට යන්න තව වැඩි කාලයක් නෑ, එතෙන්ට ගියදාට අම්ම කොහේ හරි ඉදල මගේ දිහා බලලා සතුටුවෙයි......





4 comments:

  1. Great effort machan, and good to hear that. In the end you ll get that seat, i"m sure.

    මේක කියවපු වෙලාවේ එක දෙයක් නොකියා යන්න මගෙ කට නිකන් කහනවා වගේ. ඒක නිසා ඒකත් කියලම යන්නම්.

    "අපේ සමහර රෑට වැඩකරන අය ගෙදර යන්නෙත් නැතුව ඉන්නව සමහර වෙලාවට උදේට එන අය බලලා යන්න.. ඔන්න මේ මම නම් නෙමෙයි හොදේ..."

    උඹ බබා. ලොල්

    ReplyDelete
  2. ha ha haaaa... lole lol....api ei kale hari hodaaaii...
    Anyway thanks lot Amila..

    ReplyDelete
  3. ඉතිං ඉට පස්සේ.. ඉතිරි ටික කවදද කියවන්න පුලුවන්..

    ReplyDelete
  4. බොහොම ඉක්මනට.. වෙලාව තියෙන විදියට ලියන්නන් ..

    ReplyDelete