Sunday, November 28, 2010

මගේ මුල්ම රැකියාව...

කාලය : 1993 ජූලි. මගේ ගිය ආත්මෙ කරපු පව් පලදෙන කාලෙ තමයි මේක...
          මගේ තිබුන අකමැතිම රස්සාව තමයි කොම්පියුටර් ගැහිල්ල.. මොනව කරන්නද.. කියවලම බලන්නකො ඒකෙ ආතල් එක..

          මම ඉස්සෙල්ල කියපු අපේ අයියගෙ යාළුව, ඒ කියන්නෙ මට ඔය රස්සාව සෙට් කරල දුන්න හාදයා දවසක් අපේ ගෙවල් පත්තෙ ඇවිත් කියපි එයා වැඩ කරන තැන රස්සාවක් තියනවා කැමතිනම් සෙට් කරල දෙන්නම් කියල. මම දන්නව එයා වැඩ කරන්නෙ කොම්පියුටර් වැඩ තියෙන කොම්පැනියක කියල. රස්සාවක් නැතුව ගෙදර ඉන්න මට මොන මගුලක් හරි කරන්න ජොබක් ලැබෙනව කියන්නෙ ලොකු දෙයක් නිසා මම ඕන දෙයක් කරන්නම් කියල කැමති උනා වැඩේට...
         අපරාදෙ කියන්න බෑ මම ඒ වෙනකොට කවදාවත් කොම්පියුටරයක ඉදගෙනවත් තිබුනෙ නෑ. දැකලනම් තිබුන සමහර ඔෆීසි වල කට්ටිය ඈනුම් ඇර ඇර ඔය මේසෙ උඩ තියෙන බොත්තන් ගහපු බෝඩ් එකට ඇගිල්ලෙන් අනිනව..ඊට පස්සෙ හරියට ලොකුදෙයක් වෙලා වගෙ බලන් ඉන්නවා..හික් හික්..හරී ශෝක්...
         මමත් ඉතින් එන්න කියපු දවසෙ ඉන්න තරන් දෙයියන්ට වැදලා ගියෙ නැතැයි පලවෙනි ඉන්ටවීව් එකට. හවස හතරට විතර තමයි එන්න කියල තිබ්බෙ.. මගේ තියෙන ඇගේ අමාරුවට දවල් දෙකයි තිහේ ඉදන් මම එතන..කොහොම හරි එතන අයට දුක හිතිල වගෙ මට එන්න කිව්ව හතරෙන් පස්සෙ..මොනව කරන්නද.. මමත් ඉතින් මොනවද කාපු රිලව වගේ හා කියල ගියා පාර පැත්තට පොඩි රව්මක් දාන්න. වෙලාව කන්න ඕනෙ නිස ගියා ලිබර්ටි ප්ලාසා එක පැත්තෙ.. මොකද ඔය කියන ඔෆීසිය තිබුනෙ ලිබර්ටි ප්ලාසා එක ලගමයි..
         වෙලාව බලලා කොල්ල ආව ඉන්ටවීව් එකට, නැත්තම් ඉතින් ආයිත් දුක හිතිල කිව්වොත් ගිහින් පස්සෙ එන්න කියල....
        කොහොම හරි ඔන්න මගෙ මුල්ම ඉන්ටවීව් එකට වාඩි උනා කියමුකො.. කොල්ල ඉන්නව වාඩිවෙලා..මුලු ඇගම ගැහෙනව සට පට ගාලා.. බයේ බෑ.. වෙව්ලන වෙවිලිල්ලට ඉදගෙන ඉන්න පුටුවත් හෙලවෙනවා, මොනවා අහයිද කියලා කව්ද දන්නෙ, අනික මොනව ඇහැව්වත් මම මොකෝ ඔය පතෝල මැස්සෙ වැඩකරන්න දන්න එකක්යැ...

ඕනදේකට රෙඩි වෙලා මම ලොක්ක එනකම් වාඩිවෙලා හිටිය එයගෙ කාමරයෙ. එහෙම හිටියෙ මම දන්න උලව්වක් තියෙනවට නෙමෙයි, වෙන කරන්න දෙයක් නැති කමට.
මම හිතුවෙ දෙකේ හතරෙ බුවෙක් සෙට් වෙයි කියල ඉන්ටවීව් එකට. පස්සෙ බැලින්නම් මෙන්න බොලේ එනව සීනි බෝලයක් වගෙ අන්කල් කෙනෙක්..හරී ශෝක්...මම හිතන්නෙ මිනිහ තමයි ලොක්ක, පේන විදියටනම් මිනිහ ශේප් බුවෙක්.. මට ගුඩ් ඊව්නින් කියල වාඩි උනා වැඩේට.. මොන ගුඩ්ද.. වෙලාව එනකම් පාරවල් ගානෙ ඇවිදල කකුල් දෙකත් රිදෙනව, ලගට යන්න බෑ දාඩිය ගඳ.
        ලොක්ක මගේ ඇප්ලිකේශන් එක අතේ තියාගෙන ඒකෙ තියෙන විස්තර මගෙන් ඇහැව්වා. සමහර විට ඒකෙ තියෙන දේවල් එයාට කියවගන්න බැරුව ඇති. නැත්තන් ඉතින් ඒක දිහා බලාගෙන මගෙන් මොන උලව්වක් අහනවද. කොහොම හරි ඔන්න ඉතින් දන්න සෙල්ලන් දාල අහපු දේවල් වලට උත්තර ටිකනම් දුන්න. මොකද එකේ තියෙන සමහර දේවල් මමවත් දන්නෙ නෑ.
ඔන්න දැන් තමයි සබ්ජෙක්ට් එකට සෙට් උනේ...
        මට කරන්න තියෙන්නෙ ඩේටා එන්ට්‍රි. ඒ කියන්නෙ කොලයක් බලාගෙන ඒකෙ තියෙන හැම අටමගලයක්ම කොම්පියුටරයට දාන එක..සතියට දවස් තුනයි වැඩ. සදුද, බදාද, සිකුරාදා. වැඩේ තියෙන්නෙ රෑට..හවස පහේ ඉදන් උදේ අට වෙනකම්. නයිට් ශිෆ්ට් එකේ. නරකමත් නෑ නේද?

        ලොකු මිනිහ වගේ වැඩේ කරන්නම් කියල බාරගත්තට ජීවිතේට කොම්පියුටරයක් අතින් අල්ලලවත් තිබුනෙ නෑ. ඒක ඉතින් එයාට කියන්න ඕනෙ නෑනෙ...
       මට ඊලග සතියෙ සදුදා ඉදන් වැඩට එන්න කිව්වා. ටිකක් වේලාසන එන්න කියලත් කිව්වා. සමහර විට ආයිත් මට පාරවල් ගානෙ යන්න වෙයිද දන්නෙ නෑ වේලාසන ඇවිත්..හික් හික්.

අපි පස්සෙ බලමු ලබන සතියෙ මොකද උනේ කියල...........


Sunday, November 21, 2010

ඉස්කෝලෙන් එලියට දැම්මට පස්සෙ....

           ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා.. ලංකාවෙ හැමෝම වගෙ ඉස්කෝලෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා රස්සාවක් කරන්න පුලුවන් විදියට.... සිංහල, ආගම, ඉතිහාසය.... තව ගොඩක් දේවල් තිබුනනෙ, අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තු දේවල් වලින් මොන උලව්වක් වත් කරන්න බෑ කියල තේරෙන්නෙ දැන් තමයි...

ආ... මතක නැති උනානෙ කියන්න.. ඉස්කෝලෙ යනකාලෙ, ඒ කියන්නෙ ඕලෙවල් ඉවර උනාට පස්සෙ හැදුනනෙ තවත් බඩේ අමාරුවක්..මොකක්ද දන්නවද? ඒ කාලෙ අපේ ඉස්කෝලෙ ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තිබුනනෙ කැඩෙටින් වලට. අපිත් එක්ක හිටපු ගොඩාක් අයට ඔය බඩේ අමාරුව හැදිල තිබුන.. අනික ඕකෙ හිටපු සීනියර්ල ඒ කියන්නෙ පරණ අය ගොඩක් හිටියෙ අපේ යාලුවො..උන්ගෙ තියෙන මලවදයට තමයි ඉතින් අපිත් ඕකට සෙට් උනේ.. කොහොම කොහොම හරි අපේ පන්තියෙ හිටපු හොදම ටික ඒ කියන්නෙ බුලට් වැඩ කාරයො ටික ඕකට සෙට් උනා..තව අල්ලපු පන්තියෙනුත් දෙතුන් දෙනෙක් සෙට් උනා. 

කැඩෙටින් ජීවිතේ ගැන නම් කියන්න ගොඩාක් දේවල් තියෙනව.. අපි පස්සෙ ඒ ගැන වෙනම පිටුවකින් බලමු..

         ඉස්කෝලෙන් එලියට ඇවිත් ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්නකොට උදේ ඉදන් රෑ වෙනකන් ගෙදර අය කිව්වෙ මොනව හරි ඉගෙන ගනින් රස්සාවක් කරන්න කියලා. මොන ඉටිගෙඩියක් ඉගෙන ගන්නද? අවුරුදු 13ක් ඉගෙන ගෙනත් රස්සාවක් කොරන්න පුලුවන් විදියට මොන උලව්වක් වත් ඉගෙන ගන්න බැරි උන එකේ දැන් පුලුවන්ද එක්ස්ප්‍රස් එකේ ජොබ් එකකට ඉගෙන ගන්න..

ගෙදර අයගෙ කටේම තිබුනෙ කොම්පියුටර් ගහන්න ඉගෙන ගන්න කියල... මට පෙන්නන්නම බැරි සබ්ජෙක්ට් එක තමයි ඕක.. මෙලෝ රහක් නෑ.. මට දිරවන්නෙම නැති වැඩේ තමයි ඔය උදේ ඉදන් හවස් වෙනකම් පුටුවකට වෙල වාඩි වෙලා ඉන්න එක..

රස්සාවක් නැති හෙනේ තිබුනෙ මට විතරක් නෙමෙයි. මාත් එක්ක ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගොඩ දෙනෙකුට ඔය නස්පැත්තිය වෙලා තිබුන. ඉස්කෝලේ යන කාලෙ වෙන බහුබූත කරකර හිටිය මිසක් ඕකෙන් එලියට ආපුදාට කොරන මගුල හිතුවෙ නෑනෙ ඔය හිටපු එක බූරුවෙක්වත්..දැන් තමයි රගේ දැනෙන්නෙ.. ඕකට තමයි කියන්නෙ අපේ පරන ජොකියො "කුම්බලන් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....

මම ඉස්කෝලෙ පලවෙනි පන්තියෙ විතර ඉන්න කාලෙ අපේ තාත්තා රස්සාවෙන් අයින් වෙලා හෝටලයක් පටන් ගත්තා ගෙවල් ලගම තියෙන අපේ අම්මගෙ මහ උන්දලාගෙ ඒ කිව්වෙ ආච්චිගෙ බිල්ඩිමක. තත්තා රස්සාවෙන් අයින් උනේ අපිට මහ ලොකු දෙයක් තියනවට නෙමෙයි, ජීවත් වෙන්න අම්මට ලැබුන රු.225/=  පඩියයි තාත්තට ලැබුන රු.90/=  පඩියයි මදිනිසා.

ඔය කාලෙ අපේ ගෙදර බිත්තර ගන්න හදපු කිකිළියො රන්චුවකුත් හිටිය. රන්චුවක් කිව්වට ඒකෙ කිකිළියො 1500ක් විතර ඉන්න පොඩි කූඩු දෙකක් තිබුනෙ..අපේ අම්මයි තාත්තයි තමයි ඔය සබ්ජෙක්ට් එක කරේ.. උදේට රස්සාවට යන්න කලින් කිකිළියන්ගෙ රාජකාරිය කරල දාපු බිත්තර එකතුකරල කඩවල් වලට දාන්න ලෑස්ති කරල තියල තමයි දෙන්නත් එක්ක වැඩට යන්නෙ..බිත්තර විකුණලා ඒකාලෙ හොද ගානක් හොයාගත්තා..ඒක තමයි අපිට තිබුන අමතර ආදායම හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා..

හෝටලය දැම්මට පස්සෙ ඒක ටිකක් හොදට දියුනු වෙලා ආවා.. හොදට බිස්නස් තිබුන..වැඩ කරන්නත් ගොඩක් අය හිටිය..තාත්තගෙ සහෝදරයො ඒ කිව්වෙ මගේ බාප්පල සෙට් එකත් තාත්තට සපෝට් එකට හෝටලේ දාපු කාලෙ හිටිය..

මම ඉස්කෝලෙන් එලියට එන කාලෙ වෙනකොට අපේ ගෙදර තත්වය ඒ කිව්වෙ අපේ ආර්ථික තත්වය බොහොම හොද තැනක තිබුනෙ. අපිට කියල විශේශ ප්‍රශ්නයක් තිබුනෙ නෑ.. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්නයෙන්ම යන්න ඕනෙ අපේ අම්මටයි තාත්තටයි..

මම ඉස්කෝලෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කාලේ හෝටලෙ මුදලාලි පට්ටමත් කරා..ඒකත් වරදක් නෑ.. සාක්කුවෙ කොයිවෙලෙත් හොදට සල්ලි තියෙනවනෙ. හොරකන් කරල නෙමෙයි පේන්නම අරන්.

අපිත් එක්ක එකට කැඩෙටින් කරපු අපේ යාළුවො දහයක් විතර හමුදාවට ගියා. සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ල හැටියට. හොද වෙලාවට මට ඔය බඩේ අමාරුව හැදුනෙ නෑ. ඒ ගිය අයගෙන් දෙතුන් දෙනෙක් අද වෙනකොට මේ ලෝකෙන් ටිකට් එක කපාගෙන ඉවරයි. ඒ කාලෙ හමුදාවට යනව කියන්නෙ ගෙදර අය අමතක කරනව කියන එක තමයි.

හෝටලේ මුදලාලිකම කරන කාලේ හැමදාම වගේ හවසට කඩේ ලගට මගෙ යාළුවො ටිකක් සෙට් වෙනව. මට තියෙන ආදරයට නෙමෙයි, මාවත් ඇදන් බොන්න යන්න. ඒකාලෙ ටිකක් හොදට බොන්න පුලුවන්. බඩගෙඩියත් ටිකක් ලොකුවට තිබුනනෙ දැන් වගේම. පොඩි ඩ්‍රින්ක් එකක් දාල රෑට කාලම තමයි ගෙදර එන්නෙ. කවදාවත් ගෙදරට මාට්ටු වෙලා නෑ බීලා ඇවිත්. මට කියල වියදමක් යන්නෙත් නෑ. අපරාදෙ කියන්න බෑ යාළුවෝ ඔක්කොම වියදන් කරනව. මට තියෙන්නෙ කාල බීලා එන එක විතරයි.


            ඔන්න ඔහොම ටික කාලයක් ඒ කියන්නෙ මාස ගනනක් යනකොට මට අයියගෙ යාළුවෙක් රස්සාවක් සෙට් කරල දුන්න. යාළුවෙක් කිව්වට එයා අපේ පවුලෙ කෙනෙක් වගෙ. අපි බොහොම කිට්ටුවෙන් ආස්සරය කරෙ..

මගේ මුල්ම රැකියාව... කමින් සූන්....

Friday, November 19, 2010

මම ගැන ටිකක්‌....



උප්පැන්නේ ඇති නම : කෝරාල මුදලිගෙ මිලින්ද වීරසේකර
උපත                         : 1974-04-03
ස්ථානය                    : වැල්ලවත්ත
මව                            : ස්‌වර්නලතා කුමාරිහාමී වීරසේකර
පියා                          : ගුනදාස වීරසේකර

ඔන්න ඔහොම තමයි උප්පැන්නෙ තියෙන්නෙ....

ගෙදර අය ගැන ටිකක්....
මම පවුලෙ දෙවෙනිය..මට වඩා අවුරුදු 6ක් වැඩිමහල් සහෝදරයෙක් ඉන්නව..වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රදර්...


අම්ම රක්ෂන සංස්ථාවෙ ජොබ් එක කරේ. දන්න තරමින් නම් ලංකාවෙ තියෙන ලොකුම කැම්පස් එකකින් ගත්ත ඩිග්‍රී තියෙනවා.. ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාව සහ ලෝක ඉතිහාසය ගැන...අයියෝ අපරාදෙ ඉගෙන ගත්ත දේවල්. ඉගෙන ගත්තු දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් උනානෙ කරපු රස්සවට...උදේ ඉදන් කුරුටු ගාපු එක තමයි කරේ... මොකෝ රක්ෂන සංස්ථාවෙ ඉදන් කැනීම් කටයුතු කරන්නයැ...ඔන්න රටේ අය දුන්න රස්සාව...

තාත්තා ප්‍රයිවෙට් පාමසියක වැඩ කරා. බෙහෙත් සන්යෝජක හැටියට. ඒක ඒ කාලෙ ටිකක් හොද රස්සවක්. සමහර අය අදටත් තාත්තව හම්බවෙන්න එනවා බෙහෙත් අහගන්න.

මම පොඩි කාලෙ ඒ කියන්නෙ ඔය ජන්ගිය ඇදන් ඉස්කෝලෙ යන කාලෙ...මොන්ටිසොරියකට ගියානෙ..ඒක තිබුනෙ අපේ අම්මගෙ මහගෙදරට අල්ලපු වත්තෙ..හරි මරු.. හිතුන ගමන් කොල්ල දුවනව ආච්ච්ලාගෙ ගෙදරට..මොන අලබෝලයක්වත් කන්න නෙමෙයි, මොන්ටිසෝරියෙ ඉන්න කම්මැලි කමට..මේකා ආවහම මලවදේ කියල ආච්ච් කනෙන් අල්ලන් ගිහින් ආයිත් මොන්ටිසෝරියට දානව...මොනව කරත් කොල්ල මොන්ටිසෝරියෙ හොදම එකා..හැම වැඩක්ම හොදට කරනව...

කොහොම කොහොම හරි ඒ කාලෙත් පැන්න කියමුකො..


මම ඉස්කොලෙත් ගියා...ඒක ගැනත් ටිකක් කියන්නම්...
යාන්තම් වයස සෙට් වෙනකොට කොහොම හරි දන්න සෙල්ලන් ඔක්කොම දාල ගෙදර ඇඩ්‍රස් එක වෙනස් කරල කොල්ලුපිටිය පැත්තෙ ගෙදරක ඇඩ්‍රස් එකක් දාල කොහොම හරි මහානාම විද්‍යලයට ඇප්ලිකේෂන් එකක් දාල යාන්තම් ඉස්කෝලෙ සෙට් කරගත්තා...



මහානාමේ පලමු දිනේ...

ඔන්න ඔක්කොම දහන්ගැට ගහල මහානාම ඉස්කෝලෙ සෙට් කරගෙන පලවෙනි දවසෙ ඉස්කෝලෙ ගියා කියමුකො...
හප්පටසිරි ඒකෙ හැටි..මාරයි..හරිම ලොකුයි..කොල්ලො පිරිල..මම ගිය මොන්ටිසෝරිය වගේ නෙමෙයි මේක. එක එක සයිස් වල කොල්ලො ඉන්නව..මම හොටු පෙරාගෙන අඩන්නව දැක්ක ලොකු කොල්ලො මට නිකන් කින්ඩියට වගෙ හිනා උනා මට යාන්තම් වගෙ මතකයි..ඒ වගේම මම කවදා හරි උන්ට රිටන් එක දෙනව කියල හිතා ගත්ත එකනම් හොදට මතකයි...
මම ඇඩුවෙ බයකට නෙමෙයි, ගිය පලවෙනි දවසෙම දැක්කෙ කොල්ලො දෙන්නෙක් ගහක් යට මරාගන්නව..එකෙකුට හම්බානෙට නෙලනව...මට නිකන් මැවිල පෙනුනා ලොකු එකෙක් මට නෙලන විදිය...

කොහොම කොහොම හරි ටික ටික ලොකුවෙන්න පටන් ගත්තා, ඉස්කෝලෙ පන්ති වල ඉලක්කන් ටික ටික වැඩි වුනා.. ඒ කිව්වෙ පහල බාලාංශයෙන් පලවෙනි පන්තියට, ඒකෙන් දෙකට, දෙකෙන් තුනට......
දැන් කොල්ල ටික ටික ලොකු වෙලා, දැන් කවුරුත් කින්ඩිය දාන්න එන්නෙ නෑ.. මගේ ඇති උලව්වකටන නෙමෙයි, හැමෝම දැනගෙන හිටිය මගේ අයියත් ඉන්නෙ ඔය ඉස්කෝලෙ කියල..ඒක නිසා මට කවුරුත් වැඩිය සෙල්ලන් දාන්න ආවෙ නෑ..

ඔන්න ඔය විදියට ඉස්කෝලෙ ටික ටික ලොකු පන්තිවලට ආව.. දැන් වගේම තමයි ඒ කාලෙත්. මොකක් හරි කරන්න ඕනේ කියල හිතුනොත් කොහොම හරි ඒක කරනව..නැත්තම් ඒ බඩේ අමාරුව හොද වෙන්නෙ නෑ..
මට මතක හැටියට මම අටේ පන්තියෙ ඉන්න කාලෙ ඉස්කෝලෙ හොදම සෙල්ලම තමයි වුෂු ක්‍රීඩාව...මාත් එක්ක හිටපු ගොඩක් යාලුවො ඔය කෙහෙල් මල ඉගෙන ගත්ත. ඉගෙනගෙන අත පය තියගෙන ඉන්න එකක්යැ.. ඇවිත් අපිටත් සෙල්ලන් දාල පෙන්නනවා..ඔන්න ඉතින් මේ හරකටත් බඩේ අමාරුව හැදෙන්න පටන් ගත්තා ඔය මගුල ඉගෙන ගන්න..
දන්න තරන් බයිල ගහල යාන්තන් ගෙදරින් පර්මිශන් ගත්තා වුෂු ඉගෙන ගන්න..කොහොම හරි ගෙදර කැමති කරගෙන ගියෙ නැතැයි වුෂු පන්තියට..
හප්පා.. හිතන තරන් වැඩේ ලේසි නෑ කියල තේරුනේ ගියාට පස්සෙ..මට මතක් උනා මම ඉස්කෝලෙට ආව පලවෙනි දවසෙ අර පොඩි කොල්ලට ලොකු එකා නෙලපු නෙලිල්ල..ඒ වගේම මෙතනත් එකෙක් තව එකෙකුට නෙලනව..මොන බූරුවෙක්ද දන්නෙ නෑ..ගුටි කකා ඉන්නෙ.. එක්කො අතට අහුවෙන දෙයකින් දමල ගහන්න ඕනෙ අරූගෙ ඔලුව පොඩිවෙන්න, නැත්තන් ඌට අල්ල ගන්න බැරි වෙන්න ගෙදරටම දුවන්න ඕනෙ..කොහොම හරි මමත් යාන්තම් ශේප් වෙලා පලවෙනි දවස ඉවර කර ගත්තා..

යාන්තන් මාසයක් විතර ගුටිනොකා ශේප් වෙලා වැඩේ ඉගෙන ගත්ත..හැමදාම ශේප් වෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ කියල තෙරුනෙ උගන්නපු මහ කෙරුම මගෙ කනෙන් ඇදන් ගිහින් රිං එක මැද්දෙ හිටෙව්වට පස්සෙ..හප්පා..දැනෙන සනීපෙ..කකුල් දෙක ගැහෙනව නිකන් සිම්බල් ගහනව වගේ.. මුලු ඇගම දාඩියට තෙමිල තිබුනෙ, ඒ බයට නෙමෙයි..
කොහොම හරි එදා මට සෙට් උනෙ පොඩි එකෙක්. මට වඩා මාස තුන හතරක් පරන එකෙක් උනාව සයිස් එකෙන් පොඩියි. මගෙ තිබුන බය නැ නෑ වැරදුනා චකිතය ටිකක් අඩූ උනා මේකව දැක්කහම. ඔන්න වඩේ පටන් ගත්තා, ඒක එහෙට මෙහෙට පනිනව රිලවෙක් වගෙ..මමත් වැඩේ අතහැරියෙ නෑ. දන්න සෙල්ලන් දාලා ඇන්න එකක් දෙකක්..වැඩේ හරි..මට මේකව බිම දාන්න පුලුවන් කියල තේරෙනකොටම ඇනෙන් නැද්ද මේකා මගෙ බඩ මද්දට..ඔන්න ඉතින් මට මල පනින වෙලාව..මගේ බඩට ගහපු එකෙකුට හොදින් යන්න දෙන්නෙ නැති එක මට ඒ කාලෙ තිබුන ලෙඩක්..මමත් අත ඇරියෙ නෑ. ඇන්න එකක් උගෙ හොම්බට..වැදුන පාරට ඌ මලකද වගෙ ඇදන් වැටුන රිං එක මැද්දෙ..මට හරි ජොලි..වටේට හිටපු අනිත් අය ඔක්කොම අප්පුඩි ගැහැව්වා..මමනෙ දන්නෙ මේකා බිම දාන්න මම වින්ද දුක...

ඔය විදියට ටික දවසක් ගියා..එක දවසක් මට සෙට් උනා ටිකක් ලොකු එකෙක්..ඔන්න ඉතින් මගෙ කකුල් දෙක විතරක් නෙමෙයි මුලු ඇගම ගහෙන්න පටන් ගත්තා..මොනව කරන්නද!  ඇග කහනවටනෙ මේක කරන්න පටන් ගත්තෙ..!! උගන්නන මහ කෙරුම රැවුල කරකව කරකව බලන් ඉන්නවා..ඕන දෙයක් කියල මමත් සෙට් උනා වැඩේට..හරිම කුජීතයි...හිතන්නවත් වෙලාවක් උනෙ නෑ..දමල ඇන්නෙ නැද්ද මගෙ හොම්බට මේකා..මට මතක එච්චරයි..සිහිය එනකොට මම ඉස්කෝලෙ සික් රූම් එකේ..නහයට ප්ලාස්ටර් ගහල..හුස්ම ගන්නත් බෑ.. මට ඇනපු එකා ඉන්නව පුටුවක වාඩි වෙලා හරියට උගෙ නහයෙ පොල්ල කැඩිල වගේ...
යාන්තන් ඔන්න ගෙදර ආවා..ඉස්කෝලෙන් ගුටිකාලා ගෙදරිනුත් ගුටිකන්න බැරි නිසා මම කිව්ව බාත් රූම් එකේ ලෙස්සල වටුන කියලා..යාන්තන් වඩේ ශේප්...දවස් දෙක තුනක් ගෙදර..මට තේරුන මේ වැඩේ හරියන්නෙ නෑ කියල..හැබැයි බඩේ අමාරුවනම් හොද උනෙ නෑ..කොහොම හරි වෙන දෙයක් හරි ඉගෙන ගන්න හිතුව...

ඉස්කෝලෙ පන්තියට යන එක එහෙම්මම නැවතුනා..මට සෙට් උනා ෂෝටෝකාන් පන්තියක්, අපි දන්න කෙනෙක් තමයි එකෙ මහ ගුරා..කොහොම හරි ඒක ඉගෙන ගත්තා..එකනම් මරු.. ඉගෙන ගත්ත විතරක් නෙමෙයි ඒ කලෙ තිබුන හැම තරගයකටම ගියා.. කොහොම කොහොම හරි වයස 17 පහල ලංකාවෙ හොදම වැඩකාරය කියල සහතිකයකුත් හම්බ උනා එක තරගයකින්...

ඔන්න ඔය විදියට ඉස්කෝල කාලෙ ඉවර උනා..ඕ ලෙවල් ඒ ලෙවල්.....

පාසලෙන් පසු....... in next page