Monday, December 27, 2010

" ඒ " කෝ.. " බී " කෝ ජීවිතේ...

        මට රෙකෝඩ් දෙක තුනක් දාල පෙන්නපු අර ඇන්ටි මාව බාර දීපි වෙන ගෝතයෙකුට.. මට තියෙන ආදරේට වැඩිපුර උගන්නන්න නෙමෙයි..ගෙදර යන්න පරක්කු වෙලා, හරිම කුජීතයි නේද..?
    
 දැන් වෙලාව හවස 5.30 විතර වෙලා, දවල් වැඩ කරපු කට්ටිය ගෙවල් වෙලට යන්න දගලනවා. මෙලෝ සිහියක් නැතුව මොනවද කොලවල ලියනව ෆයිල් කවර බලාගෙන. මට නම් මෙලො සන්සාරයක් තේරෙන්නෙ නෑ මෙතන වෙන දේ...

      ඔන්න ඔහොම ලියපු කොල ටික එතන තිබුන ෆියිල් කවරයකට දාල හායී, බායී, ටටා, සීයූ, කිය කිය එකා දෙන්න ගෙවල් වලට යන්න පටන් ගත්තා. මම ඉතින් ඒ කාලෙත් පැණි හලන්න හරි දස්සයනෙ..ඒක නිසා ඔක්කොටම මමත් බායී, ටටා, සීයූ කිව්ව..මොකෝ ඉතින් අතින් පයින් යන එකක් යැ..  හික් හික් ...
ඉස්සෙලම යන්න පටන් ගත්තෙ හිටපු කෙල්ලො ටික, පෙනුම නම් මුන් කෙල්ලො වගෙ තමයි. අනේ මන්ද ඔව්ව..
මෙන්න බොලේ වැඩක්, හවස් වෙනකොට කොස් ගෙඩි බදාගන්න එන වවුල්ලු වගෙ රෑ වැඩ කරන අය එනව කොම්පියුටර් බදාගන්න...හරී ශෝක්...  


       එකෙක්ගෙන් නිදහස් වෙලා ටිකක් හුස්ම ගන්නවත් පින් කරල නැති කොම්පියුටර් තමයි මෙතන තියෙන්නෙ. අනේ පව්.. එකෙක් එලියට යනකොටම තව එකෙක් එනව ඒක බදා ගන්න.. උදේ ඉදන් හවස් වෙනකල් කෙල්ලන්ගෙ ලපටි ඇගිලි වලින් ගුටි කාපු කොම්පියුටරේ බොත්තන් ටික ආයිත් එලිවෙනකන් ගුටි කන්න එපැයි රෑට වැඩ කරන කොල්ලන්ගෙන්...
මට මතක් උනා 88/89 කාලෙ රෑට ඇවිත් අරන් යන කොල්ලන්ට උන සින්දුව.. උදෙ ඉදන් හවස් වෙනකම් කට්ටියක් අර කොල්ලන්ට නෙලනව. ඊට පස්සෙ උන් ගෙදර යන කොට වෙන සෙට් එකකට බාර දෙනව රෑ එලි වෙනකන් සබ්බුව දෙන්න...
අප්පට සිරි, දැන්නෙ දන්නෙ, මාව බාර දුන්නු ගෝතයත් රෑ වැඩ කරන වවුලෙක් කියල. මම හිතන් හිටියෙ ඒක මාවත් දාල ටටා කියල යයි කියල..
දැන් නම් ටිකක් කරන්න ඕන වැඩේ තේරෙනව, මේකා මට කියල දෙනව උගෙ වැඩත් නවත්තල. හොද එකා.. කාටවත් කියන්න එපා.. වැඩේ තේරුනාට තාම දන්නෙ නෑ මම මේ මොනවද එන්ට කරන්නෙ කියලා...හික් හික්..මරු නේද..
මම ටිකක් ඌත් එක්ක පොඩි ෆ්‍රෙන්ඩ්ලි චැටක් දැම්ම මේක මොකෙක්ද කියල අදුරගන්න. බැලින්නම් ඌ තමයි නයිට් ශිෆ්ට් එකෙ කෙරුම. ඒ කියන්නෙ සුපවයිසර්.. අවුලක් නැති වවුලෙක් වගෙ. මචන් ලෙවල් එකෙන් තමයි කතාව..
දැන් ටිකක් රෑ වෙන්න ඇවිත්, දවල් වැඩ කරපු ඔක්කොම කෙල්ලො ටික ගෙවල් වලට ගිහින්. කොල්ලො එකෙක් දෙන්නෙක් නම් එහාට මෙහාට දුවනව, උනුත් ඉක්මනටම යන්න වගෙ..

මට කරන්න කිව්වෙ අර රෝස පාට කොල වල තියෙන ඉලක්කන් පහකින් තියෙන නොම්බරයයි ඒකට අදාලව තියෙන ගානකුයි එන්ට් කරන්න කියල. බැලුවාමනම් ඒක එච්චර දෙයක් නෙමෙයි. වැඩේ තියෙන්නෙ ඉතින් කොම්පියුටරේ ඔය කියන ඉලක්කම් හොයන එකනෙ. හප්පා.. හොද වෙලාවට ඔය උලව්වෙ ඉලක්කන් එකේ ඉදල බින්දුව වෙනකම් නොම්බර දහයක් විතරක් තිබුනෙ. තව දහයක් පහලවක් තිබුන නම් මට ඉතින් කොම්පියුටර් දෙයියන්ගෙ පිහිටම තමයි....

ඔන්න දැන්නම් රෑ වැඩ කරන වවුල්ලු ටික ඔක්කොම වගේ ඇවිත්.. යමරෙට වැඩ. මුන් හරියට ගෙදර ගෑනිත් එක්ක තරහ වෙලා ඇවිත් වගෙ කෙලිනව බොත්තන් වලට උඩ දාගෙන. අනේ ඉතින් අපි හරි අහින්සකයි නෙ, ඒක නිසා බොහොම හිමින් රිදෙන්නෙ නැති වෙන්න ඉලක්කන් ගහනව. එක ඉලක්කමක් හොයාගෙන ඒක ගහල එනිත් ඉලක්කම හොයාගන්න කොට කොහොමත් තප්පර පහලොවක් විස්සක් යනව. මේකට කට්ටිය කියන්නෙ "ඒ" කෝ "බී" කෝ කියල. 
සෑහෙන්න කාලෙකින් වෙන්න ඇති මේ කොම්පියුටරයට පොඩි නිදහසක් ලැබුනෙ. ගුටි කෑවත් ඉතින් එකක් කාල අනික කනකොට ටිකක් වෙලා ගිහින්නෙ..හික් හික්..
කට්ටිය දොරෙන් ඇතුලට එනකොට නම් මාත් එක්ක හිනාවේගෙන එනව ඊට පස්සෙ හරියට අපි වැරැද්දක් කරල වගෙ නෝ හිනා නෝ කතා..කෙලිනව එකසිය ගානට.
කොහොම කොහොම හරි දැන් ඉතින් රෑ කෑම කන වෙලාවත් ලන් උනා. රෑ අට විතර. මෙන්න බොලේ කොහෙද අතරමන් වෙලා හිටිය තව වවුල්ලු දෙන්නෙක් එනව...
යකෝ මේක නිකන් හරියට වැඩ ඇරිල බෝඩිමට යනව වගේනෙ. මුන් දවල් තිස්සෙ වෙන කොහෙද වැඩ කරල රෑ වෙන කොට මෙහෙට එනව.. මුන්ට බෝඩින් ඕන නෑ. හරි මරු නේද...


අපි බලමු රෑට මෙතන තියෙන ආතල් එක වෙන දවසක.....


Sunday, December 19, 2010

නයිට් ශිෆ්ට් ජීවිතේ පලමු දවස.....

          මම කියපු වෙලාවටම ගියා අලුත් ජොබ් එකට. වේලාසන ගිහින් පාරවල් ගානෙ ඇවිදින්න බැරි නිසා කියපු වෙලාවටම කොල්ල ගිය එතෙන්ට.
         මම ගිහින් එදා මට කතා කරපු සීනිබෝල අන්කල්ව මීට් උනා. මෑන් ටිකක් හොද පාටයි. කතා කරන්නෙත් ටිකක් මචන් ලෙවෙල් එකට. මගේ තිබුන බය ටිකක් අඩු උනා පොරත් එක්ක දාපු චැටෙන් පස්සෙ.
මට කරන්න තියෙන දේවල් උගන්නන්න කියල තව ඇන්ටි කෙනෙකුට මාව සෙට් කරල පොර මාරු උනා. අනේ ඉතින් මට දෙයියන්ගෙම පිහිටයි. දෙයියන්ගෙ නෙමෙයි මේ ඇන්ටිගෙ පිහිටයි.. ඕක තමයි කියන්නෙ ඉගෙන ගන්න කාලෙ බහුබූත කර කර ඉන්නෙ නැතුව මොන මගුලක් හරි වැඩකට ඇති දෙයක් ඉගෙන ගන්න කියල...
         වෙලාව හවස හතරට විතර ඇති. කට්ටිය යමරෙට කොටනව කොම්පියුටරේ බොත්තන් වලට..එකම සද්දයයි. මටනම් නිකන් පිස්සු වගේ. ෆයිල් කවරයක දාල තියෙන රෝස පාට කොලයක් බලාගෙන කට්ටියක් කොටනව හුස්ම ගන්නෙවත් නැතුව. හරියට කෝච්චිය අල්ලන්න යන්න පරක්කු වෙලා වගේ. තව කට්ටියක් සුදු පාට කොල බලාගෙන කෙලිනව අර අහින්සක බොත්තන් වලට. එක්කෙනෙක් වත් බොත්තන් දිහා නිකමටවත් බලන්නෙ නෑ අනින එක හරියට ඇනෙනවද කියලවත්. හනේ හපොයි හරිම කුජීතයි..
        මම අර කලින් කියපු ඇන්ටි මාව එක්කන් ගිහින් වාඩි කරා කවුරුත් නැති කොම්පියුටරයක. ඇන්ටි කිව්වට එයා එච්චර වයස නෑ. වයස ඒ කාලෙ හැටියට ඕන්නම් මට වඩා අවුරුදු හයක් විතර වැඩි ඇති. පේන විදියට මෙයත් වරදක් නෑ.

මම හිටපු කාමරයෙ ගෑනු ළමයි තමයි වැඩිපුර හිටියෙ. ළමයි කිව්වට මුන් ළමයිමත් නෙමෙයි. පිරිමි අයත් හතර පස් දෙනෙක් හිටිය. හැමෝම පිස්සු හැදිල වගේ වැඩ. මට තේරෙන්නෙ නැති උනාට මොනව හරි ලොකු දෙයක් එතන වෙනව කියලනම් ශුවර්.
       මටත් අර කියපු වගෙ ෆයිල් කවරයක් දෙන ගමන් මගෙන් අහපි ඩේටා එන්ට්‍ර කරල තියෙනවද කී බෝඩ් එක බලන්නෙ නැතුව ටයිප් කරනන පුලුවන්ද කියල.. කී බෝඩ් බලන්නෙ නැතුව ටයිප් කරන්න මීට කලින් මම කොම්පියුටරයක වාඩි වෙලාවත් තියෙන එකක්යැ. එක්කො මුන්ට පිස්සු නැත්තම් මට පිස්සු මෙහෙම ජොබ් දෙනවට.
මම නිකන් හිනා වෙල කිව්වා නෑ කියල ඇගට පතට නොතේරෙන ගානට. නිකන් බොරු කියන්න ගිහින් උදේ පාන්දරම නා ගන්න ඕනෙ නෑනෙ.
      අප්පට සිරි කොම්පියුටරේ හැටි. මම හිතන්නෙ මේක දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ ලංකාවට සුද්දො වැරදිලා වගෙ ගෙනාපු එක් වෙන්න ඇති. තඩි සයිස් කී බෝඩ් එකක් තියෙනව කොම්පියුටර් පෙට්ටියටම හයිකරල. කොල පාට අකුරු විතරයි ඒකෙ තියෙන්නෙ. තඩි යකඩ පෙට්ටියක තමයි ඔය අටමගලෙ තියෙන්නෙ. මේක පරන කාලෙ ආපු ටීවී එකක් වගෙ. මම මේ වගේ එකක් නම් කොහේදිවත් දැකල තිබුනෙ නෑ.
      ඔය කියපු යකඩ පෙට්ටියෙ එක කෙලවරක WANG කියල ගහල තිබුන.තරමක් ලොකු ස්ක්‍රීන් එකක් තමයි තිබුනෙ. දැන් තියෙනවගේ එකක් නෙමෙයි. අමුතුම ජාතියෙ එකක් මේක. ආසාවට බලන්නවත් පින්තූරයක් එන්නෙ නෑ. කොල පාට අකුරු විතරයි තියෙන්නෙ. හප්පා.. මාව කරකවල අත ඇරිය වගෙ... මේකට තමයි කියන්නෙ "කුම්බලම් මාන්ස කෑවනම් දුක්ක විදපන් බළලෝ" කියල....

මම අර කලින් කියපු ඇන්ටි කොම්පියුටරේ මොකක්ද මන්ද අකුරු තුනක් තියෙන නමක් දාල ඒකට යටින් තරු පොලිමක් හගල බලන් හිටිය ඒක ඔන් වෙනකම්. ඊට පස්සෙ ටික වෙලාවක් ගියාම එකෙ තිබුන දේවල් වෙනස් වෙල වෙන ස්ක්‍රීන් එකක් ආවා. වෙන ස්ක්‍රීන් එකක් කිව්වට මොන උලව්වක් වත් නෑ එකෙ අකුරු වලට අමතරව. තියෙන්නෙ අර කොල පාට අකුරු විතරයි. හප්පා.. ඒකෙ තියෙන දේවල්...
මොනවද මන්ද බොත්තන් වගයක් ගැහැව්ව කීබෝඩ් එකේ උඩම පේලියෙ තියෙන. ගහගෙන ගහගෙන ගියා මිසක් නිකමටවත් මගෙන් ඇහැව්වෙ නෑ තොට මේක පේනවදවත් කියලා. මොනව කරන්නද.. මමත් ඔහේ බලන් හිටිය මිසක් මට වෙන මොන මගුලක්වත් තේරෙන එකක්යැ..
දැන් ස්ක්‍රීන් එකේ තියෙන්නෙ බාගෙට එලිය වැටිච්ච අකුරු ටිකකුයි හොදට එලිය තියෙන ඉරි කෑලි පේලියකුයි.. ඒ වගෙ පේලි දෙකක් තියෙනව..
මට කරන්න තියෙන්නෙ අර ෆයිල් කවරෙ තියෙන රෝස පාට කොල වල තියෙන ඉලක්කන් මේකෙ ගහන්න. මට එකක් අර ඇන්ටි දාල පෙන්නුව. මමත් ඒක දාන්න ඕන විදිය කොල කෑල්ලක් අරන් ලියා ගත්තා, නැත්තම් ඉතින් මොනව දායිද කියල කව්ද දන්නෙ...

ඊලගට.... 
" ඒ " කෝ.. " බී " කෝ ජීවිතේ...
(අකුරු හොය හොය ටයිප් කරනවට තමයි එහෙම කියන්නෙ.)